කොස් වලින් ව්‍යංජන වර්ග 05 ක් හදමු..

තීතයේ කොස් ගසට කීවේ බත් ගහ කියල. මොකද වේලක් පිරිමහ ගන්න වුනත් යොදා ගන්න පුළුවන් වටිනා ශාකයක් තමයි කොස් ගස කියන්නේ. නිකන් තම්බලා වගේම උයලත්, පැසුන වගේ නොපැසුණ සහ ඉදුණ ගෙඩිත් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේමයි කොස් වල තිබෙන පෝෂණ ගුණත් ඉතාම ඉහළයි.

ඔබත් ආහාරයට කොස් එකතු කර ගනිද්දී එකම විදිහට නැතුව විවිධ ක්‍රම වලට හදා ගන්න. කොයි විදිහට ආහාරයට ගත්තත් කොස් කියන්නේ රස ගුණ පිරි ආහාරයක්.


fb- like-beg


01) කිරි කොස් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හොඳින් පැසුණු කොස් මැඳුළු 25ක්
  • කොස් ඇට 25ක්
  • තුනපහ කුඩු තේ හැඳි 1 1/2ක්
  • කහ තේ හැඳි 1/2ක්
  • පොල් මිටි කිරි කෝප්ප 1 1/2ක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2ක්
  • වියළි මිරිස් තේ හැඳි 1/2ක්
  • අමු මිරිස් කරල් 3ක්
  • උම්බලකඩ කුඩු මේස හැඳි 1ක්
  • රතුළූණු, කුරුඳු, රම්පෙ, කරපිංචා
  • අබ ස්වල්පයක්

සාදන ක්‍රමය :

කොස් මදුළු සෝදා ඇට ගලවා දික් අතට තරමක කැබලි කපා ගන්න. කොස් ඇට තලා පොතු හැර සෝදා ගන්න. තුනපහ, කහ, අබ, උම්බලකඩ, සුදුළූණු, රතුළූණු, අමුමිරිස්, කුරුඳු, රම්පෙ, කරපිංචා, වියළි මිරිස්, ගම්මිරිස් ආදිය දමා අතගා දියකිරි දමා ලිප තබන්න. එය තැම්බී එන විට මිටිකිරි දමන්න. එය පැසෙන විට අවශ්‍ය නම් බැදපු දුරුකුඩු තේ හැන්දක් පමණ ඉසින්න. අවශ්‍ය නම් මෙය තෙම්පරාදු කිරීමෙන් වඩාත් රසවත් කළ හැක.

වැදගත් කරුණු :

  • කොස් ඇට අඩියට දමා තැම්බීම වඩාත් සුදුසු වේ.

02) පොලොස් ව්‍යංජනය

  • පොලොස් ගෙඩියක් අරගෙන එහි ලෙල්ල කපා ගන්න.
  • පසු පොලොස් ගෙඩිය පලු හතරකට කපා එහි තියෙන මැද කොටසින් ටිකක් කපා යවන්න.
  • පසු කැමති සයිස් කපාගෙන, එ කපාගත් පොලොස් කැලි යටින් පිහියෙන් පොඩියට තිරුවක් කපා ගන්න වෙන් නොවන ලෙස
  • දැන් පොලොස් ටික හොදින් සෝදා එයට රස අනුව ලුණු /මිරිස් කුඩු /අමුතුනපහ කුඩු ටිකක් /කහ /බැදපු තුනපහ දමා හොදින් කලවම් කරන්න
  • එයටම කුරුදුපොතු කැලි 2-3 / රම්පේ කැලි ටිකකුත් දමා ගන්න
  • පසු එයටම පොඩි ගොරකා කැලි දෙකක් පමණ දමාගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා පොලොස් ටික සෝෆට් වනතුරු උයා ගන්න .
  • දැන් වෙනත් භාජනයක් ලිපේ තියා එයට තෙල් ටිකක් දමා රත් වෙන්න තියන්න .
  • පසු එකට අබ ඇට ටිකක් හා තලා ගත් සුදුලුනු ටිකක් දමා බැදෙන්නට හැර එයට කපා ගත් ලුනු /අමුමිරිස් හා කරපිංචා දමා හොදින් තෙම්පරාදු වෙන්න යවා, එයට උයා ගත් පොලොස් මිශ්‍රනය දමා හොදට කලවම් කර ගන්න.
  • පසු එයට වතුර ඇබින්දක් දමා කලවම් කර, පොල් කිරි ටිකක් දමා අඩු ගින්දරේ පොලොස් කරිය උකුවන තුරු උයා ගන්න
  • අවශ්‍ය නම් නැවත බැදපු කරි පවුඩර් ටිකක් එක් කර හොදින් කලවම් කර ගන්න

03) කොස් ඇට කළු පොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය :

  • කොස් ඇට 50ක්
  • ගා ගත් පොල් මේස හැඳි 2ක්
  • කැකුළු හාල් මේස හැඳි 1ක්
  • පොල් මිටිකිරි කෝප්ප 2ක්
  • පොල් දියකිරි කෝප්ප 1ක්
  • බැදපු දුරුකුඩු මේස හැදී 1 1/2ක්
  • බැදපු මිරිස් කුඩු 1ක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2ක්
  • රතුළූණු 10ක්
  • සුදුළූණු 5ක්
  • අමු මිරිස් කරල් 4ක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • උම්බලකඩ මේස හැඳි 1ක්
  • තක්කාලි ගෙඩි 1/2 ක්
  • ලුණු
  • කුරුදු පොතු, රම්පෙ, කරපිංචා

සාදන ක්‍රමය :

කොස් ඇට සෝදා පොතු සමග තම්බගෙන යන්තමින් තල ගන්න. (පොතත් ඉවත් නොකරන්න.) හාල් සහ පොල් දුඹුරු පැහැ වන තෙක් බැද අඹරා ගන්න. මෙයට බැදපු දුරු, මිරිස්, ගම්මිරිස්, රතුළූණු, සුදුළූණු, රම්පෙ, කරපිංචා, කහ, ලුණු, උම්බලකඩ හා තක්කාලි දමා අතගා ගන්න. ඉන්පසු දියකිරි දමා ළිප තබන්න. එය තැම්බී එන විට මිටිකිරි එක්කර පිස ගන්න.

වැදගත් කරුණු :

  • අවශ්‍ය නම් තෙම්පරාදු ද කළ හැක.
  • මැටි බඳුනක පිසීමෙන් වඩාත් රසවත් වේ.

04) තිබ්බටු කොස් ඇට මාළුව

හදමුද තිබ්බටුයි කොස් ඇටයි එකට දාලා රසම රස මාළුවක්? උම්බලකඩ ටිකක් එහෙම දාලා හරිම රසට මේ මාළුව හදාගන්න පුලුවන්. බලන්නකෝ එහෙනම් හදන විදිහ.

අවශ්‍ය දේවල් :

  • තිබ්බටු 200g
  • පොත්ත අයින් කර තම්බා කෑලි වලට කපා ගත් කොස් ඇට 15ක් පමණ
  • මිරිස් කුඩු තේ හැදි 1ක් පමණ (අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කර ගන්න.)
  • කහ කුඩු ස්වල්පයක්
  • තුනපහ කුඩු තේ හැදි ½ ක් පමණ
  • ලුණු (රස අනුව)
  • සිහින්ව ලියා ගත් රතු ලූණු ගෙඩි 6 – 7ක් පමණ
  • කපා ගත් අමු මිරිස් කරල් 1 – 2ක් පමණ
  • උම්බලකඩ කෑලි ටිකක් (කැමති නම් පමණක්)
  • රම්පේ
  • කරපිංචා
  • මිටි කිරි අඬු කෝප්ප ½ ක් පමණ
  • දිය කිරි අඬු කෝප්ප ¾ ක් පමණ

සාදා ගන්නා ආකාරය :

  • මුලින්ම තිබ්බටු වල නැටි ගලවලා හොදට සෝදගෙන ඇතිලියකට දමා ගන්න.
  • පස්සේ ඒකටම තම්බා ගත් කොස් ඇට කෑලි ටිකත් දා ගන්න.
  • දැන් ඒකටම කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු දාලා හොදට අත ගා ගන්න.
  • ඊට පස්සේ ඒකටම රතු ලූණුයි, අමු මිරිසුයි, කරපිංචායි, රම්පෙයි, උම්බලකඩ කෑලි ටිකයි එක්ක දිය කිරි දාලා සාමාන්‍ය ගින්දරේ ලිපේ තියන්න.
  • කිරි නැටුවට පස්සේ රස අනුව ලුණුත් එකතු කරන්න.
  • අන්තිමට තිබ්බටු ටික සාමාන්‍ය ගානකට තැම්බිලා කිරි හිදී ගෙන එන කොට ඒකට මිටි කිරි ටික දාලා නටනකන් උයා ගෙන ලිපෙන් බා ගන්න ඕනේ. (නැත්තම් හොද්ද හොදට බස්ස ගන්නත් පුළුවන්.)

වැදගත් :

කැමතිනම් වෙනම පොඩි තාච්චියක් තෙල් ටිකක් දාලා රත් වෙන්න තියලා ඒකට අබ ඇට පොඩ්ඩක් දාලා පිපිරුනාට පස්සේ, හීනියට ලියා ගත්ත රතු ලූණු ටිකකුයි, චොප් කර ගත්ත සුදුලූණු ටිකකුයි දාගෙන රන්වන් පාටට තෙම්පරාදු කරන් හදා ගත්ත තිබ්බටු එකක එකතු කරන්න පුළුවන්…


05) කොස් මැල්ලුම

අවශ්‍ය දේ :

  • හොඳින් පැසුණු කොස් මදුළු 25ක්
  • කොස් ඇට 25ක්
  • පොල් ගෙඩි 1/4ක්
  • කහ තේ හැඳි 1/2ක්
  • කුරුඳු අඟල් 2ක්
  • අබ තේ හැඳි 1ක්
  • අමු මිරිස් හෝ කොච්චි කරල් 3ක්
  • සුදුළූණු බික් 5ක්
  • රතුළූණු ගෙඩි 4ක්
  • අමු ඉඟුරු කැබලි අඟල් 1/2ක්
  • ගම්මිරිස් තේ හැඳි 1/2ක්
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය :

කොස් මදුළු සෝදා ඇට ගලවා තරමක් සිහින්ව කපා ගන්න. කොස් ඇට ද තලා පොතු හැර සෝදා ගන්න. භාජනයකට වතුර කෝප්ප 1 1/2ක් පමණ සහ ලුණු ස්වල්පයක් දමා තැම්බෙන්නට අරින්න. කහ, අමු මිරිස්, කුරුඳු, අබ, සුදුළූණු, රතුළූණු, ගම්මිරිස්, අමු ඉඟුරු, ලුණු ස්වල්පයක් එකට අඹරා හෝ තලා ගන්න. ඊට පොල් ද එකතු කර වංගෙඩියේ කොටා ගන්න. වතුර සිඳෙන තෙක් තැම්බුණු කොස් ව්‍යංජනයට පොල් මැල්ලුම දමා හොඳින් කලවම් කරන්න. ස්වල්ප වේලාවක් වසා තැම්බෙන්නට හැර ළිපෙන් බා ගන්න.

SHARE

NO COMMENTS