පොල් නැතුව ඉදෙන ව්‍යංජන, පොල්වලට ආදේශක සහ පොල් පිරිමහගන්නා ක්‍රම

පොල් කිරි කියන්නේ අපේ රටේ අයගේ ආහාර වේලක් හදනකොට නැතුවම බැරි අංගයක් නේ.
හැබැයි පොල් කිරි නැතුව හදන්න පුළුවන් කෑම ගොඩක් තියෙනවා.
සලාද, මැල්ලුම් අච්චාරු වගේ දේවල් නෙමෙයි, හොදි පවා පොල්කිරි නැතුව හදන්න පුළුවන්.
අපි අද ඔබට කියන්න යන්නේ පොල් කිරි නැතුව හදන්න පුළුවන්, ඒත් එච්චර ප්‍රසිද්ධ නැති රසම රස ව්‍යංජන කිහිපයක්.
ඒ වගේම, පොල් කිරි වෙනුවට යොදාගන්න පුළුවන් ආදේශකත්, පොල්කිරි පිරිමහන් උයන්න ක්‍රම ටිකකුත් මේ ලිපිය අන්තිම වෙනකම් කියෙව්වම දැනගන්න පුළුවන් වෙයි.


fb- like-beg


1) මසාලා රසක් එක්ක ඉදෙන කුකුළුමස්

ඕන වෙන දේවල් :-

  • කුකුළුමස් ග්‍රෑම් 700 ක්
  • අඩු මේද යෝගට් එකක් (රස ගැන්වීම් නැති)
  • බැදපු තුනපහ
  • කෑලි මිරිස්
  • රම්පෙ
  • කරපිංචා
  • තලාගත් ඉඟුරු
  • තලාගත් සුදු ළුණු
  • මසාලා පව්ඩර් තේ හැඳි 2 – 3 ක්
  • සූදුරු තේ හැන්දක්
  • මහදුරු තේ හැන්දක්
  • සියඹලා ටිකක්
  • රස අනුව ලුණු

හදන්නේ මෙහෙමයි :-

  • කුකුළුමස් සාමාන්‍ය තරමේ කොටස්වලට කපාගන්න. තලාගත් සුදු ළුණු, ඉඟුරු, ලුණු, මිරිස් කුඩු, සියඹලා සහ මසාලා පව්ඩර් එක තේ හැන්දක් එකට කලවම් කරලා මේ කුකුළු මස්වල තවරා පදම්වෙන්න හරින්න.
  • විනාඩි 15 ක් තිබුණම ඇති.
  • දැන් මැටි හට්ටියකට මේ පදම් වූ මස් දමන්න. එයටම උණු වතුර කෝප්පයක් එකතු කරලා තැම්බෙන්න හරින්න. සූදුරු සහ මහදුරු එකතු කරන්න. වතුර සම්පුර්ණයෙන්ම හිඳී අවසන් වෙන්න නොදෙන එක හුඟක් වැදගත්.
  • මස් හොඳින් තැම්බූ පසු ලිපේ ගින්දර අඩු කර එයට යෝගට් එක දමන්න. හොඳින් මිශ්‍ර කරමින් ඉතිරි මසාලා පව්ඩර් එයට එකතු කරන්න.
  • හොදි ගතිය හිඳෙන තෙක් පිසගන්න.

2) පොල් කිරි නැතිව ඉදෙන කරවල හොද්ද

ඕන කරන දේ :-

  • කට්ට කරවල ග්‍රෑම් 250 ක්
  • මී කිරි මේස හැන්දක්
  • සුදු කැකුළු හාල් කෝප්පයක් දියේ දමා අඹරාගත්
  • බිලිං ගෙඩියක්
  • තක්කාලි අවශ්‍යනම්
  • සුදු ළුණු
  • ලොකු ළුණු
  • මිරිස් කුඩු
  • රස අනුව ලුණු
  • කහ කුඩු ටිකක්

හදන්නේ මෙහෙමයි :-

  • සාමාන්‍ය කරවල හොද්දක් හදන විදිහමයි.
  • කරවල සෝදලා, කපලා මීකිරි සහ ඇඹරූ හාල් ටික ඇරෙන්න අනෙක් අඩුවැඩිය එක්ක ලිප තියන්න.
  • වතුර අඬු කෝප්ප බාගයක් ඒකට එකතු කරන්න.
  • දැන් මීකිරි සහ සුදු කැකුළු හාල් ටික හොඳින් මිශ්‍ර කර, කරවල බඳුනට දමන්න.
  • නොනවත්වා හැඳිගාන්න.
  • මේ කරවල හොද්ද, පොල් කිරෙන් උයන කරවල හොද්දට වඩා කැටි ගැහෙන්න ඉඩ තියෙනවා.

3) දඹල සහ කොස් ව්‍යංජනය

ඕන කරන දේ :-

  • ළපටි දඹල ග්‍රෑම් 250 ක්
  • තම්බා ආහාරයට ගත හැකි මට්ටමේ කොස් මදුළු කිහිපයක්
  • උම්බලකඩ (ලොකු කැබලි කඩාගත් )
  • සුදු ළුණු
  • ලොකු ළුණු
  • මිරිස් කුඩු
  • රස අනුව ලුණු
  • කහ කුඩු ටිකක්
  • තෙල් ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි :-

  • කොස් මදුළු තරමක් කුඩා කැබලිවලට කපාගන්න. වතුර ඉතා ස්වල්පයක් සමඟ නො ඇලෙන බඳුනක දමා වසා මද වෙලාවක් තම්බා ගන්න.
  • තෙල් ස්වල්පයක් ලිපේ තබන්න.
  • එයට සුදුළුනු, ලොකු ළුණු, මිරිස්, උම්බලකඩ දමා බැදෙන්නට හරින්න.
  • එයටම කපා ගත් දඹල එකතු කර දඹලවල කොළ පැහැය ඉවත් නොවන ලෙස තෙලෙන් තම්බෙන්නට හරින්න.
  • එයට මද වශයෙන් තැම්බුණු කොස් මිශ්‍ර කරන්න.
  • කොස් සහ දඹල මිශ්‍ර කිරීමේදී බෙරි නොවන සේ මිශ්‍ර කිරීමට වගබලා ගන්න.
  • උණු උණුවේම බත් සමඟ පිළිගන්වන්න.

4) කිරි නැතිව පිසගතහැකි බෝංචි ව්‍යංජනය

ඕන කරන දේ :-

  • ළපටි බෝංචි ග්‍රෑම් 250 ක්
  • තම්බා පොඩි කරගත් අර්තාපල් ගෙඩියක්
  • කෝන්ෆ්ලවර් ස්වල්පයක්
  • උම්බලකඩ
  • සුදු ළුණු
  • ලොකු ළුණු
  • ගම්මිරිස් ඉතා ස්වල්පයක්
  • රස අනුව ලුණු
  • කහ කුඩු ටිකක්
  • තෙල් ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි :-

  • සාමාන්‍ය ව්‍යාංජනයක විදිහටම බෝංචි කපාගන්න. එයට ළුණු, ලුණු, කහ, උම්බලකඩ සහ ගම්මිරිස් එකතු කරන්න. පොඩි කරගත් අර්තාපල් උණු වතුර කෝප්පයක දියකරගන්න.
  • එය බෝංචි ව්‍යංජනයට දමා හොඳින් මිශ්‍ර කරන්න.
  • ලිපේ තබා හැඳි ගාමින්ම කෝන්ෆ්ලවර් එයට එකතු කරගන්න.
  • හොදි ඉතිරි නොවන සේ හින්දවාගන්න.

පොල්කිරි වෙනුවට පාවිච්චි කළහැකි ආදේශක. (ඇතැම් හොදි සහ ව්‍යංජනවලට පමණයි)

  • රස එකතු නොකළ යෝගට්
  • මීකිරි
  • පොඟවා අඹරාගත් සුදු කැකුළු සහල්

පොල් කිරි පිරිමසාගන්නා අකාරය

  • පරිප්පු, මාළු වැනි ව්‍යංජනයක් උයා අවසන් වූ සැනින් ලිපෙන් බා, වෙනත් භාජනයකට දමන්න. (ලිපේ සහ භාජනයේ රස්නයට හොදි වාෂ්ප වීම වැළකේ)
  • පොල් මිරිකීමට පෙර, තද උණුසුම් වතුර එයට එකතු කරන්න. වතුර තරමක් නිමුණු පසු පොල් මිරිකන්න
  • පොල් ගෑමෙන් පසුව ගාගත් පොල් ශිතකරනයේ තබන විට හොඳින් වසා තබන්න. (පිළුණු වීම වැළකේ)
  • පොල් බෑ ශීතකරණයේ තබනවා නම් පොත්ත ඉවත්කළ සුදුලුනු බිකක් පොල් බෑය තුල තබා පොල් බෑය වාතයට නිරාවරණය නොවන සේ තබන්න. (පිළුණු වීම වැළකේ)
  • පොල් කුඩු අවුවේ වේලාගන, දුඹුරු පැහැ වනතෙක් කබලේ  බැද කුඩු කරගන්න. ආහාර රසකාරකයක් ලෙස භාවිතා කළ හැකියි.
SHARE

NO COMMENTS