ඔබේ සති අන්තයත් සුන්දරව ගෙවා දමන්නේ කොහොමද?

ති අන්තේ එහෙම නැත්නම් වීක් එන්ඩ් එක කියන්නේ අපි හැමෝම මග බලාගෙන ඉන්න දවස්නෙ. මේ දවස් දෙක රාජකාරි ජීවිතේ අවිවෙකෙන් මිදිලා නිදහසේ තමන්ගේ ආදරණීයයන් එක්ක ගත කරන්න තමයි අපි හැමෝම කැමති. නමුත් කීයෙන් කී දෙනෙක්ද ඒ විවේකය සතුට ඒ අයුරින්ම ලබන්නේ?

ගෙවල් පිරිසිදු කිරීම, කඩේ පිලේ යාම්, රෙදි සේදීම්, දරුවන්ගේ පන්ති, ආහාර පිසීම් වගේ වැඩ එක්ක සතියේ දින වල රාජකාරියට ගිහින් හෙම්බත් වෙලා ඉන්න ඔබ සති අන්තේදි තවත් හෙම්බත් වෙනවද? මේ වගේ ජීවිතයක් ගෙවද්දී ජීවිතේ මිහිර ඔබෙන් ගිලිහෙනවා. වෙන එකක් තියා ඔබේ සැමියා වුනත් ඔබට නොරුස්සන්න ගනීවි සති අන්තෙත්, සතිය වගේම වෙහෙසින් පීඩිත වෙලා ගෙවන්න ගියොත් නම්. අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය හැමදාම වගේ ඔබේ ජීවිතේ සාර්ථකත්වයම පතන ඔබේම වෙබ් අඩවිය නිසා ඔබට නිර්දේශ කිරීමට කැමතියි සති අන්තයේ එක දිනයක් වත් අවම වශයෙන් වැඩ වල පීඩනෙන් මිදිලා නිදහසේ පවුලේ අය එක්ක ආදරෙන් කල් ගෙවන්න කියල.


fb- like-beg


අධිෂ්ටානයක් ඇති කර ගන්න

පළමුව ඔබ අධිෂ්ටාන කර ගත යුතුයි ඔබේ සති අන්තය සතුටින් ගෙවනවා කියල. ඉන් පස්සේ සැමියාටත් කියන්න, දරුවන්ටත් කියන්න විවේකයෙන් ඉන්න එකේ ඇති වැදගත්කම. හැබැයි විවේකෙන් ඉන්න නම් එදාට පෙර ඉවර කර ගත යුතු බොහෝ දේ තිබෙනවා. ගෙදර ඔහේ ජරාවට ඇරලා, රෙදි කුණු කූඩේ තියෙද්දී විවේකෙන් ඉන්න කාටවත් බැහැ. එම නිසා ඒ වෙනුවෙන් හැමෝගෙම උදවු උපකාර වගේම සැලසුම් සහගතව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. අපේ වෙබ් අඩවිය කියවන ඔබ උදේ නැගිටලා තිබෙන දෙයක් කරන කාන්තාවක් ලෙස නොවේ, සියල්ල මනාව සැලසුම් කරලා කරන කෙනක් වශයෙන් අපි සලකනවා.


බඩු මිලට ගැනීම

සිකුරාදා අන්තිම දවසනේ. එදාට ඇවිත් සේරම තියෙද්දී රූපවාහිනිය බලලා පිඟන් සී සී කඩ දාලා නින්දට යන කෙනක් වෙන්න නම් එපා. ඒ වෙනුවට ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙක් ගෙදර එද්දිම පොලට, සුපර් මාකට් එකට හෝ සතියේ බඩු ගන්නා තැනට ගිහින් ඊළඟ සතියට අවශ්‍ය දේවල් සේරම මිලට අරගෙන ගෙදරට එන්න. සිකුරාදා උදේ ගෙදරින් එලියට බහිද්දිම සැමියාට බඩු ලිස්ට් එක දීල වඩේ පැවරුවොත් ඔහු සතුටින් එය කරාවි.


පිරිසිඳු කිරීම

ඉන් පස්සේ ගෙදර ඇවිත් දරුවොත් හවුල් කරගෙන ගෙවල් අතු ගෑම, මොප් කිරීම, මකුණු දැල් කැඩීම වගේ සේරම පිරිසිඳු කිරීම් රාත්‍රියේම ඉවර කරන්න. මෙය ලියන ලේඛිකාව නම් කටයුතු කරන්නේ එහෙමයි. ඇත්තටම ඇතැම් දිනවල රාත්‍රී එක වෙනතුරු පවා පිරිසිඳු කිරීම් ඉවර කරන්න ගත වෙනවා.


රෙදි සේදීම

සුද්ධ කිරීම් කරන අතරේ රෙදි හෝදන මැෂිමට රෙදි දමන්න. ලෝඩ් දෙක තුනකින් ගෙදරම රෙදි ටික ඉවර වෙනවා. කොහොම උනත් සුද්ධ කිරීම් සේරම ඉවර වෙද්දී රෙදි ටිකත් රැක් වලට දා ගන්න ලැබේවි. අපේ නිවසේ නම් රැක් හතරක් පමණ තිබෙනවා. ඔන්න ඉතින් ඒ රෙදි වීක් එන්ඩ් එක පුරාම නිදහසේ වේලේවි.


සුන්දර සෙනසුරාදා

වැඩ ටික ඉවර කරලා නිදහසේ සැතපෙද්දී රාත්‍රී කීය වුනත් ඔබට සහනයක් දැනේවි. මොකද හෙට සෙනසුරාදා. ටිකක් පරක්කු වෙනකම් නිදන්න. ඔහේ වගකීමක් නැතුව. ඉන් පස්සේ පවුලේම කට්ටිය ඇවිදීම වගේ ව්‍යායාමයක යෙදෙන්න. එය ඇඟට වගේම හිතටත් හොඳයි. එන මග ඔබට ආහාර ගන්න පුළුවන්. එය ඔබට ලොකු මානසික සතුටක් ගෙන ඒවි.

ගෙදර ඇවිත් ස්නානය කරන්න. ඔබ අවශ්‍ය නම් එකිනෙකා ඔලුව අතගා ගැනීම, ෆුට් මසාජ් වගේ දේවල් කරන්නත් පුළුවන්. ඉන් පස්සේ පොතක් බලන්න. දරුවන්ගේ පොත පත බලන්න. ඔවුන් පාසලේදී උගත් කවි සින්දු අහන්න. දරුවන්ට වගේම ඔබ දෙන්නටත් මේ ආදරණීය පිළිසඳර අවශ්‍යයි.

උයන්න පිහන්න වද වෙන්න එපා. එදිනට කඩෙන් ආහාර ගන්න. සවස ඔබලාට උද්යානයකට, ආගමික ස්ථානයකට ගිහින් පවුලේම අය එකතු වෙලා බොහොම අර්ථවත්ව සතුටින් ගෙවා දමන්න පුළුවන්.


ඉරිදා ඉතුරු ටික

ඉරිදා දිනය ගොඩක් වැදගත්. ඊළඟ සතිය රේස් එක දුවන්න නම් ඉරිදා මනා සූදානමක් තිබිය යුතුයි. පවුලේම රෙදි සේරම එක වරම මැදලා එල්ලුවා නම් ලයිට් බිල ගොඩක් අඩු වෙනවා. ඒ වගේම සතියේ දින වලට ඉතාම ලේසියි. ඒ වගේම මස් මාළු හෝදලා දවසකට ගන්න පුළුවන් විදිහේ අවශ්‍ය කැබලි ගාන දාල වෙනම බෑග් වල අසුරලා ෆ්‍රිජ් එකට දැම්මොත් සතියේ දින වලට මාළු මස් සේරම එලියට අරගෙන වතුරේ දාගෙන දඟලන්න දෙයක් නැහැ. ලේසියෙන්ම පැකට් එකක් ගත්තා අධි ශීතකරනයෙන් එලියට අරගෙන සාමාන්‍ය කොටසේ පහුවෙනිදා උදේ වෙනකන් දාල තිබ්බා. අයිස් නැහැ ලේසියෙන්ම උයා ගන්න පුළුවන්. ඒ වගේම කොළ වර්ග සේරම අරගෙන හෝදලා සුද්ධ කරලා තිබ්බොත් සතියේ දවස් වල උදේට ලේසියෙන්ම කොළ සම්බෝලයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම රැකියාවක් කරන කාන්තා ඔබම මේ සේරම කරන්න අවශය නැහැ. සැමියාව හැමවිටම ආදරෙන් කියා දීල, ඔහුව අගය කරලා ගෙදර වැඩට උදවු කර ගන්න පුළුවන්. දැන් දැන් නම් බොහෝ ස්වාමිවරු ගෙදර් වැඩට බිරිඳට උදවු වෙනවා. ඒ වගේම ඔබේ පොඩ්ඩෝ සහ මහත්තයට විශේෂ ආහාරයක් හදලා දෙන්නත් ඉරිදා දවස ගත කරන්න පුළුවන්. ලේසියෙන් ආහාර හදන රෙසිපි අපේ වෙබ් අඩවියේ ඕනේ තරම් තියනවා.


සියලුම ආහාර රෙසිපි සඳහා කියවන්න :-

කටට රහට කන්න කැමති ඔබට


ඉරිදා රාත්‍රියේ වේලාසනින් නිදා ගන්න.

නිසි නින්දක් ලැබීම සාර්ථක සතියකට අත්‍යවශ්‍ය දෙයක්. රූපවාහිනිය අනවශ්‍ය විදිහට බලමින් කාලය ගෙවා දමන්න එපා. ඔබේ ලස්සන ඒ වගේම නිරෝගීකම රැකෙන්න නින්ද කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. සැමියා එක්ක ආදරෙන් පුද්ගලිකව ගත කරන්න. ඔබ සැමට සාර්ථක සතියක් ප්‍රර්ථනා කරනවා.

SHARE

NO COMMENTS