“ජීවිතේ මේ වගෙයි.” – Part 27

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 27 කොටස

“ ඇයි රත්තරන් පුතේ මේ බාත්රූම් එක පුරාම වතුර හලන්නේ?”

සමුදී අහන්නේ අමනාපෙන්. ඇය නාන කාමරය තෙමන්නේ නැහැ. ප්‍රවේශමෙන් තමයි පාවිච්චි කරන්නේ. කුඩා දරුවෝ දෙන්නත් සමුදිට තියන බයට බාත් රූම් එකේ නම් වතුර හැලුවේ නැහැ. තාරික මුල් කාලේ කලත් පස්සේ කරන එක නැවැත්තුවා. තමන් අතින් වතුර හැලුනොත් කවුරු වුනත් වහාම ටිෂු නැත්නම් වයිපර් එක අරගෙන පිහන්න ඕනේ.

“අම්මි ශ්…..” කියල විමාශ කටට ඇඟිල්ලක් තිබ්බේ සමුදිට නිශ්ශබ්ද වෙන්න කියල. අත්තම්මි තමයි මට කලින් පාවිච්චි කළේ. අත්තම්මි තමයි හැමදාම බාත්රූම් එකේ වතුර හලන්නේ. “

විමාශ කිවුවේ හෙමින්.

සමුදී විමාශ්ගේ හිස අතගාල රහසින් කීවා “ සොරි මැණික. අම්මි දන්නේ නැහැනේ. මගේ පුතා අත්තම්මට මොකුත් කියන්න එපා” කියල ඇය දරුවෝ දෙන්නටම කිවුවා.

අපේ රටේ හුඟක් මිනිස්සු නාන කාමර පාවිච්චි කරන නිසි පිළිවෙල දන්නේ නැහැ. කොයි තරම් ලොකු ගෙදරක වුනත් බොහෝ විට නාන කාමරය පුරාම වතුර හලලා. කොමඩ් සීට් එක උඩ, සින්ක් වල, බිම හැම තැනම. වෙන එකක් තියා ලඟදි ගුවන් තොටුපොළේ වැසිකිලි වල බිඩර් ෂවර් ඉවත් කරන්න හේතුවත් මේකමයි. ලාංකිකයෝ නිකරුනේ නාන කාමර වල බිම වතුර හලනවා. ඉන් පස්සේ පාවිච්චි කරන මනුස්සයා ගැන කිසිම ගානක් නැහැ.

ඒ අතින් බලද්දී අපි රටක් විදිහට කොයි තරම් පසුගාමීද කියල සමුදී කල්පනා කළා. මිනිස්සු අනික් මිනිස්සු ගැන සංවේදී නොවෙන්න හේතුව මොකද්ද කියල ඇයට හිතා ගන්න බැහැ. ඇය කාර්යාලයේදී නම් ඇගේ අංශයේ හැම වැසිකිලියකම අචාර ධර්ම ලියල බෝඩ් ගහල තිබ්බේ.

කොන්ඩේ පීරද්දී වැටුනොත් ඉවත් කරන්න, සනීපාරක්ෂක තුවා කොමඩ් එක ඇතුලේ ඔබන්නේ නැතුව නිසි ලෙස බැහැර කරන්න, වතුර හැලුනොත් පිස දමන්න, පාවිච්චි කරලා නිසි ලෙස වැසිකිලිය පවිත්‍ර කරන්න මේ සේරම තද විනයකින් බැලීම ඇගේ සිරිත වුනා.

නමුත් ඉතින් මහලු ලොකු හාමිනේ ඉතින් වැඩි සිහි කල්පනාවකින් ඉන්න කෙනක් නෙවේනේ. කතාවට විතරක් වෙන් වෙන ඇගේ අවධානය නිසා සමුදී ඇය කොතරම් නරක විදිහට හැසිරුනත් ඇයට අනුකම්පා කළා. ඒ වගේම තමාගේ ගෙදරදී කිසිම දේකට ඇගේ හිත නොරිද්දීම සමුදිගේ සිරිතක්. කොහොම වුනත් ඒ තරිකගේ අම්මනේ. පුතුන්ව එලියට දාල ඇය නැවත වරක් නාන කාමරය වියලි වෙන්න පිස දැමුවා.

දරුවෝ දෙන්නට කැස්ස සහ උන තිබුන නිසා පාසල් යවන්නේ නැතුව ඉන්න ඇය තීරණය කරලා තිබුනේ. මේ දෙන්නා උන පිට පාසල් ගියොත් තව දරුවෝ ගොඩකට බෝ වෙන්න පුළුවන්නෙ.

තාරිකව වැඩට යවලා 10 වෙද්දී ගෙදර වැඩ ඉවර කරපු ඇය පුතාලට බෙහෙත් දීල උඩ කාමරේ පොත් කියවන්න සලස්වලා පහලට පැමිණියා. දැන් ඉතින් ඇගේ පුංචි ව්‍යාපාරය පටන් ගන්න තමයි තියෙන්නේ. පළමු පියවර වුනේ FB පිටුවක් හදන එකයි. ඉන් පස්සේ ඇය ඇගේ මිතුරියන්ව ඒ පිටුවට එකතු කර ගත්තා. තමන් අරගත්ත බඩුවල ලස්සන පින්තුර මිල ගණන් එක්ක එකතු කරා. ලස්සන කවරයක් දැම්මා.

මේ දේවල් කරලා ඉවර වෙද්දී දවල් දෙකත් පහු වෙලා. දරුවන්ට සහ ලොකු හාමිනේට කන්න දීල ඇයත් ටිකක් විවේක ගත්තා. ඇයට කුසුමා ගැන හරිම දුකයි. “ දැන් ඉතින් මේ ටික හරි යද්දී කුසුමට අවුවේ ගෙන් ගෙට යන්න වෙන්නේ නැහැනේ කියල සමුදී කල්පනා කළා. ‘“

ගැහැණියක් දරුවෝ එක්ක මේ ලෝකේ තනි වෙනවා කියන්නේ ලේසි දෙයක් නොවේ. ඒ නිසයි හැමවිටම ඕනෙම දෙකට ලැහැස්ති පිට හොඳ ගානක් ඉතුරුම් ගිනුමක දමාගෙන තියා ගැනීම, ඉන්න තැන නිරවුල් කර ගැනීම සහ හොඳ ආදායම් මාර්ගයක් තමාටම හදා ගැනීම ගැහැනියකට ගොඩක් වැදගත් වෙන්නේ. දැන් රැකියාවක් නොකර ගෙදර ඉන්න තමා ගැනත් ඇගේ හිතේ බයක් දැනුණා. ජීවිතේ කියන්නේ ඉතින් වෙන්න බැරි දෙයක් නැති තැනක්නේ.

කොහොම හරි මම මගේ ජීවිතේ ස්තාවරේකට අරගෙන අර අහිංසක මිනිස්සුවත් ගොඩ දානවා කියල සමුදී අධිෂ්ඨාන කළා. මුල සිට අලුතින් පටන් ගැනීම අමාරුයි. ඒ වගේම විධායක ශ්‍රේණියේ රැකියාවක් කරපු ඇයට අද කරන්න වෙලා තියෙන්නේ බඩු එහෙ මෙහෙ ගෙන ඒම වගේ දේවල්. නමුත් ඒ කිසිම දෙයක් ලජ්ජාවට කාරනා ලෙස සමුදී සැලකුවේ නැහැ. ඇයගේ හිත එතරම්ම ශක්තිමත්.

තමාගේ වුර්තීය ජීවිතේ පාගල පොඩි කරපු දයාන් ගැන වුනත් ඇයට ඇති වුනේ තරහක් නෙවෙයි. සමහර විට මට වෙන පාරක් ඇති. ඒ නිසයි මේ සේරම වෙන්න ඇත්තේ කියල ඇය හිතුවා. කොතරම් සුභවාදී වුනත් තමන්ගේ ව්‍යාපාරය සාර්ථක නොවෙවිද කියන සැකයත් හිතේ නොතිබුනාම නෙවෙයි. මේ ගැන කීවහම තාරික කීවේ…

“ඉතින් අම්මි ඔයා ඕක නොකර හිටියොත් තව අවුරුදු ගණනකින් දුක් වේවි. කරොත් සාර්ථක වුනත් නැතත් පසු තැවීමක් නැහැ. මොකද බය වෙලා නොකර ඉන්න එක මහ මෝඩ කමක්”

ඔහු ඇයට කියා දුන්නා මුලින් ටික ටික ආයෝජනය කරලා ඉතාම පරිස්සමෙන් මුදල් කළමනාකරණය කර ගන්නා පිළිවෙල. වුර්තියෙන් ගනකාධිකාර වරයෙක් නිසා සෙනසුරාදා ඉරිදට ගණන් බැලීමෙන් එහෙම සමුදිගේ ව්‍යාපාරේ වැඩ කර දෙන්නත් තාරික පොරොන්දු වුනා.

දරුවෝ මොන්ටිසෝරි ගෙනිහින් එතනට වෙලා ඕපදූප කියවමින් ඉඳීම, සමහර දරුවන්ගේ තාත්තලා එක්ක හොරෙන් හෝටල් කාමර වල යාම වගේ දේවල් විහස්ලගේ පාසලේ ඇතැම් අම්මලාගේ සිරිත්. සමුදී මේ කාලේ කන නොවැදගත් හැසිරීම් පිළිකුලෙන් බැහැර කළ අම්ම කෙනක්. ඇය නිතරම හිතුවේ කොහොමද මගේ ජීවිතේ සහ මා වටේ ඉන්න අයගේ ජීවිත වඩා යහපත් කරන්නේ කියල.

සමුදී එදා ස්ටොක් හැටියට ගෙනාව බඩු සේරම ලොකු හාමිනේ තමන්ගේ කාමරේ අල්මාරියේ ලස්සනට තැම්පත් කළා. හවස ඇය දොර රෙදි සහ අලුත් කුෂන් කවර තද පාටින් හදන්න පහලට ගියා. විහස් සහ විමාශ කලින්ම අම්මට උදවු කරන්න එකතු වුනේ රෙදි කැපීම වගේ විනෝද ජනක වැඩ වලට දායක වෙන නොමද ආසාවෙන්. ඇය මැෂිමෙන් මහනවා. පටි එහෙම කපා දීම, කැබලි ලං කර දීම, මැෂිමට නූල් දැමීම වගේ ගොඩක් දේ වලින් පුතාල දෙන්න උදවු කළා.

පහලට ආව ලොකු හාමිනේගේ ඇස් දෙකට කඳුළු පිරුණා.

“ මයේ අම්මා පොතේ පතේ දේ උගත් ගෑනි වෙච්චි. බෑ කියල කිසිම දෙයක් නැහැනේ “

කියල ඇය සමුදිගේ ඔලුව අතගෑවා. පවුලක හැටි ඉතින් මෙහෙමනේ. ඔවුන් පොඩි දේට බැන ගන්නවා. නැවත සමගි වෙනවා. එකිනෙකා ආදරය කරනවා. සමුදිගේ තිබෙන දක්ෂකම් දකින හැම වතාවකම ලොකු හාමිනේට අදහන්න බැහැ. උසස් ලෙස ඉගෙන ගෙන තිබුනත් සමුදී තුල ඉවුම් පිහුම්, ගේ දොර පාලනය, මැහුම් ගෙතුම් හැම දේටම තිබ්බ හැකියාව ගැන ඇය නිතරම පුදුම වුනා.

ගමේ ගිහින් හැමෝටම සමුදී ගැන පාරට්ටු කියන එක ඉතින් ලොකු හාමිනේගේ ගතියක්. ගොඩක්ම ඇය මේ වගේ දේවල් කීවේ තමන්ගේ අක්කගේ දුව වුන වෛද්‍යවරියක් අරමුණු කරගෙන. ඇයට අඩුම ගානේ ගෙයක්වත් අතු ගාන්න බැරි නිසා ලොකු හාමිනේ නිතරම සමුදි ගැන කියමින් හින්ට් පාස් කරා. මේ කැත පුරුදු නවත්වන්න කොතරම් අවවාද කළත් ලොකු හාමිනේ එහෙම නෙවෙයි ඉතින් සෙකන්ඩ් වුනේ කවදාවත්.

“පුතේ අත්තම්ම අග්ගලා හැදුවේ පුතාල දෙන්නටම තමයි. බත් වේලන්න හොඳට අවුව වැටුනා. බීරළු ගෙදර අත්තම්මා තමයි කෙටුවේ. මට ඉතින් මේ අතේ අමාරුවනේ” කියල ඇය නැවත වරක් තමාගේ ලෙඩේ ගැන කියවන්න පටන් ගත්තා.

මේක ඇහුන ගමන් සමුදිගේ ඔලුවට අලුත්ම අදහසක් ආවා. බීරළු කියන්නේ විදේශිකයෝ එහෙම ඉතාම කැමති අත්කම් භාන්ඩයක්නෙ. අවාසනාවට බීරළු ගොතන එක දැන් අභාවයට ගිහින්. ඒත් මේ බීරළු ගෙදර අත්තම්මා එක්ක එකතු උනා නම් තමන්ගේ ව්‍යාපාරයට බීරළු එක් කර ගත හැකි නේද කියල සමුදී කල්පනා කළා.

“අම්මා..මේ පාර ගමේ යද්දී මාවත් එක්කන් යන්නකෝ. මට බීරළු ගෙදරට යන්න ඕනේ.” ඇය කීවේ හිනා වෙමින්.

පැත්තක හිටපු විහස්…. තමන්ටත් එහෙ යන්න ලැබෙයි කියල “ යේ ………..” කියාගෙන පුටුවෙන් පැන්නා.

“ නැහැ නැහැ..ඔය දෙන්න එන්න ඕනේ නැහැ. ස්කූල් පාඩු කරගෙන. මම අත්තම්ම එක්ක ගිහින් ඉක්මනින් එනවා. මම යන්නේ වැඩකට “ ඇය පුතාලට තදින්ම කීවා.

( ලබන සතියට)

SHARE

NO COMMENTS