මගුල් ගෙදරක ගිහින් වැදගත් ලෙස හැසිරෙන පිළිවෙල

විවාහයක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ ඉතාම වැදගත් දිනයක්. ඒ දිනයේ සතුට බෙදා ගන්න ඥාති, මිත්‍ර පිරිසට ආරාධනා කිරීම තමයි බොහෝ දෙනෙක්ගේ සිරිත. ඉතාම ලොකු වියදමක් දරලා ඔවුන්ගේ ජීවිතේ වැදගත් දිනයට ඔබට ආරාධනා කරද්දී ඔබට ලොකු වගකීමක් තිබෙනවා, ඒ දිනය වඩාත් සුන්දරව සහ අර්ථවත්ව ගත කරන්නට. කියන්න කණගාටුයි අපේ රටේ බොහෝ දෙනෙක් විවාහ උත්සව වලට සහභාගී වෙලා අප්‍රසන්න සිදුවීම් ඇති කරනවා. ඔබ Goodhousekeeping.lk පාඨකයෙක් ලෙස ජීවිතේ ආචාරධර්ම ගැන සැලකිලිමත් වෙන කෙනෙක්. ඒ නිසා මේ උපදෙස් හොඳින් පිළිපදින්න. ඒ වගේම මගුල් ගෙවල් වල ගිහින් එතන වන කරන අයට අවවාදයක් ලෙස මේ ලිපිය යාලුවන්ට පේන්න ශෙයා කරන්න.


fb- like-beg


1) ආරාධනාව ලැබුන පසු

ඔවුන් ඔබට ආරාධනා පත්‍රයක් දෙන්නේ ඔබ ඔවුනට වැදගත් නිසයි. ඒ වගේම ඔබට එහි අසුනක් වෙන් කරන්නේ තව කෙනෙක්ට ආරාධනා නොකර. ඔබ උත්සවයට යන්නේ නැත්නම් කලින්ම ඔවුනට දන්වන්න. උත්සවේ තියෙන්නේ හෙට නම් අද දැන්නුවට වැඩක් නැහැ. සතියකටවත් පෙර දන්වන්න. එවිට ඔබේ අසුන් අවෙනුවට තව කෙනෙක්ට ආරාධනා කරන්නට ඉඩ ලැබේවි.


2) මනාල යුවල එන්න පෙර ශාලාවට යන්න

එය ඔවුනගේ වැදගත් දිනයක් මිස ඔබේ වැදගත් දිනයක් නොවේ. ඔබට ආරාධනා කළ ඔවුනට ගරු කරන්න. පාලු ශාලාවකට මනාල යුවල සැපත් වෙනවට වඩා ඔවුන් කැමතියි වේල් දාගෙන ඔවුන් ඉතාම දර්ශනීයව ශාලාවට එද්දී ශාලාව පිරිලා තියෙනවා නම්. ඒ නිසා ඔවුනගේ ආශාව වෙනුවෙන් ඔබ මනාල යුවල සැපත් වෙන වෙලාවය පැය කාලකට පමණ පෙර ගිහින් අසුන් ගන්න.


3) ඉඳගන්නෙ කා සමගද?

ඇතැම් උත්සව වල Seating Arrangements තිබෙනවා. එවිට ඒ අංකය ඇති අසුනේ ඉඳ ගන්න ඕනේ. නැත්නම් ඔබේ හිතවතුන් ළඟ ඉඳ ගන්නත් පුළුවන්. හදිස්සියේ එදාම දැක්ක අලුත් පිරිසක් එක්ක ඉඳගන්න ලැබුනොත් හොඳින් හැසිරෙන්න වග බලා ගන්න.

ඔබ සමග මේසයේ ඉන්න අය දැන හඳුනා ගන්න. සුහදව සිනා වෙලා කතා කරන්න. මේක මගුල් ගෙයක්. බුම්මගෙන ලොකුකම් පෙන්වමින් ඉන්න සුදුසු තැනක් නෙවෙයි.

දෙවනුව මේසෙට ආහාර පාන තබන්නේ පොදුවේ. බීම වර්ග බෝතල් වලට කට තබාගෙන බීම, ඔබේ දරුවන්ට හොඳ ආහාර සේරම දීම වගේ නරක දේවල් කරන්න එපා. බීම වීදුරු වලට දාගෙන බොන්න. එවිට ඔබ ළඟ සිටින අනික් අයටත් වක් කර ගෙන බොන්න පුළුවන්. ඒ වගේම ආහාර වර්ග ඔබේ ළඟ ඇති සයිඩ් ප්ලේට් වට හැන්දෙන් දමාගෙන කන්න. මුළු භාජනේටම අත දාගෙන සමහර මිනිස්සු කන්නේ බොන්නේ මේසේ ඉන්න අනික් අයට කිසිම දෙයක් ආහාරයට ගැනීමට ඉඩ නොතබමින්.


4) දරුවෝ ගෙන යනවා නම්

විවාහ උත්සව වලට කුඩා දරුවෝ ගෙන යන එක අසීරුයි. බලන්න කෙනෙක් ඇත්තේම නැත්නම් ගෙන ගියාට කමක් නැහැ. ඔවුන්ගේ කරදර වටේ ඉන්න අයට දමන්න එපා. සමහර අම්මලා කොහේ හෝ ගිහාම තමන්ගේ දරුවෝ වෙන කෙනෙක්ගේ ඇඟට තල්ලු කරලා නිදහසේ ඉන්නවා. කෙනෙක් කැමැත්තෙන් ඉල්ලුවොත් මිස ඔබේ දරුවා තව කෙනෙක්ගේ ඇඟේ ගහන්න එපා. එවිට ඒ අයට උත්සවේ විඳින්න බැහැ.

ඒ වගේම බබාට ඕනේ කරන දේවල් අරගෙන යන්න. පොඩි නම් ඩයිපර්, කක්කි දැම්මොත් පිහ දමන්න වෙට් ටිෂුස්, කිරි බෝතල් කීපයක් අරගෙන යන්න අමතක කරන්න එපා.


5) මත්පැන් පානය ගානට

නිකන් ලැබුන පමණින් ඔබේ සීමාව ඉක්මවලා යන්න මත්පැන් පානය කරන්න එපා. එවිට ඔබ අවට සිටින අයට සතුටක් නොවේ කරදරයක් ලෙස හැසිරෙන්න පුළුවන්. ඔබට ඔබ කරන දේවල් අමතක වුනත් ඇතිවෙන අප්‍රසන්න හැගීම් අනික් අයගේ හිත් වලින් ඉවත් වෙන්නේ නැහැ.


6) ගානට ආහාර බෙදා ගන්න

රස ආහාර මේසේ ගොඩ ගහල තිබුනත් තමන් කන්න කැමති දේවල් පුළුවන් ප්‍රමාන වලින් බෙදා ගන්න. ගොඩ දෙනෙක් පිඟානේ බින්දුවක්වත් නොපෙනෙන්න ආහාර කොත ගහල බෙදා ගන්නවා. නමුත් ඒ සේරම කන්නේ නැහැ. බාගයක් කාල විසික් කරනවා. ඒ ආහාර තිබුනා නම් අඩුම ගානේ හෝටලේ සේවයෙක්වත් කාවි. මේ විදිහට කෑම දැකල නැහැ වගේ කෑම බෙදා ගැනීම සහ විසික් කිරීම සුදුසු ක්‍රියාවක් නොවෙයි.


7) රණ්ඩු ඇති වෙන මාතෘකා / විහිලු තහළු නොකර ඉමු

ඇතැම් අය දේශපාලනය, ආගම වගේ රණ්ඩු ඇදෙන මාතෘකා කතා කරලා කළහ කරනවා අපි දැක තිබෙනවා. මෙය නම් අර ඔබට ආරාධනා කරපු අය වෙනුවෙන් කරන ලොකුම අසාධාරණයක්. ඒ වගේම ඇතැම් අය අශෝභන විහිලු තහළු ගැහැණුන්ට කරනවා. මේ දේවල් ඉතාම බාල කැත වැඩ. කිසිම ගැහැනියක් කාගේන්වත් ඇනුම් බැනුම් වලට ලක් විය යුතු නැහැ. මේ ගැන මනාල යුවලට වගේ ඥාතීන්ට ගොඩක් අපහසුකම් ඇති වෙනවා. ඔවුන්ගේ සුන්දර දිනය සහ තව කෙනෙක්ගේ හිත කැඩෙන වැඩ කිරීමෙන් වලකින එක තමයි හොඳ.


8) සල්ලි දෙන්න ලියුම් කවර

ඔබ යන්නේ ඔවුනට ත්‍යාගයක් දෙන්නනේ. ඉතින් එතන ගිහින් ලියුම් කවර හොයාගෙන, කාගෙන් හරි පෑනක් ඉල්ලගෙන ලියනවට වඩා හොඳයි ඔබ ගෙදරින් යද්දී ලස්සන කාර්ඩ් එකක් අරගෙන ඒ කාර්ඩ් එකේ ඔබේ නම සහ සුභපැතුම් ලියල ලස්සනට ඒ තුලට මුදල් දාල දුන්නා නම්. එය ඔවුන් හැමදාම ඔවුන්ගේ ළඟ තබා ගනීවි.


9) මනාල යුවල පිට වෙන තුරු පිට වෙන්න එපා

ඔබට විශේෂ වැඩක් නැත්නම් මනාල යුවල පිට වෙන කන් රැදී ඉන්න. එය ඔවුනගේ ලස්සන දවස බව අමතක කරන්න එපා.

SHARE

NO COMMENTS