“ජීවිතේ මේ වගෙයි.” – Part 28

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 28 කොටස

බීරළු ගෙදර හාමිනේව බලන්න ලොකු හාමිනේ සමුදිව එක්ක ගියා. දරු දෙන්න බලාගන්න ගෙදර නතර වුන තාරික අම්ම එක්ක කෝච්චියෙන් ගමට යන්න එක්කන් ගියේ හිතේ හටගත් ආඩම්බරේ සහ දුක දෙකම දරාගෙන.

කොයි තරම් ලස්සනට කර්යාලෙක වැඩ කරගෙන උන්න කළමනාකාරිනියක්ද? උගත් උපාධිධාරිනියක්. කාලකන්නි මිනිහෙක්ගේ නොපනත් කමක් නිසා අයෙත් බින්දුවේ ඉඳලා නැගිටින්න වෙර දරන දිරිය ගැහැනියක්. බස් වල යනවා. කොච්චි වල යනවා. බර උස්සනවා. මේ සේරම දරාගන්න තාරිකට බැහැ. ඇය ගෙදර නවත්තාගෙන ජීවිතේ යන්න තිබෙන දුර කෙටි කර දමන්නත් ඔහු කැමති නැහැ.

“ අම්මි මෙහෙම දුක් විඳිද්දී මට ගොඩක් දුකයි”

කියල තාරික ඇයට කලින් දවසේ රාත්‍රියේ කීවා. සමුදී දිලිසෙන දෙනෙතින් තාරික දිහා බලල දුන්න උත්තරෙන් ඔහුගේ හිත කීරි ගැහුණා.

“ තාත්ති ඔයා දුක් වෙන්න ඕනේ මම රස්සාව බේරගන්න කියල අර වල් මිනිහා එක්ක නිදි වැදුනා නම්. මම එහෙම කරේ නැහැ. මගේ දරුවන්ට කට ඇරලා කියන්න පුළුවන් වෙන විදිහට මම හම්බ කරන්නේ සාධාරනෙන්. අනික මම කරන්නේ හොරකමක් වංචාවක් නම් මම ලජ්ජා වෙන්න ඕනේ. ඔයත් දුක් වෙන්න ඕනේ. නමුත් මම කරන්නේ මාත් ගොඩ ගිහින් තව අහිංසක පවුලක්ම ගොඩ දාන එක.”

“තාත්ති මිනිස්සු ලොකුකම නිසා කිසිම දෙයක් කරන්නේ නැහැ. උපාධි සහතිකේ අරගෙන ඉල්ලුම් පත්‍ර යව යවා ගෙවල් වලට වෙලා ආණ්ඩුවට බනිනවා. හැබැයි අපි ඒ ක්‍රමය ආදර්ශයෙන්ම වෙනස් කරන්න ඕනේ. ඔයා මහන්සි වෙන නිසා දෙවියනේ කියල හොඳට කාල ඇඳලා ඉන්න අපි හැමෝටම පුළුවන්. හැබැයි මම රස්සාවක් නොකර ඉද්දි ඔයාට මොනවා හරි වුනොත්? එදාට මම පාරට බහින්නද?”

මේ ගැන කවදාවත් හිතලා නැති තාරිකගේ දෙනෙත් කඳුලින් තෙත් වුනා. ඇත්තටම මට මොනවා හරි වුනොත් මේ අහිංසක දරු දෙන්න එක්ක සමුදී මොනවා කරන්නද? කියල ඔහුට මතක් වුනා”

හෙටම රක්ෂණ සමාගමකට කතා කරලා ජීවිත රක්ෂණයක් දමන්න හිතන ගමන් ඔහු ඇයව බදා ගත්තා.

“ මැණික ඔයාටවත් පුතාලටවත් අසරණ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ.” ඔහු ඇයට පොරොන්දු වුනේ ඇගේ නළල සිපගෙන ආදරයෙන් ඔහුගේ අතේ ඇඟිලි ඇගේ හිස කෙස් අතරට යවන ගමන්. ඔහුව ආදරෙන් වැලඳගත් ඇයට වැටහුනා තාරිකගේ වේදනාව.

ඔහුව ඇඳ උඩට මුනින් දිගා කරවපු ඇය “ මට ඔයා ඉන්නවා.. ඔයාට මම ඉන්නවා.. කියමින් ඔහුගේ මුහුණ සහ බෙල්ල ආදරෙන් සිප ගත්තා. “ මේ ආදරණීය හැසිරීම එක්ක තාරිකගේ හිත සමනය වුනා කීවොත් හරි.

“ මම යන්නේ අම්ම එක්කනේ. දවස් දෙක තුනකින් මම එනවනේ පැටියෝ. එතකන් බබාලා එක්ක ඉන්න” කියල තමා සමුදී පිට වුනේ.

බීරළු ගෙදර හාමිනේ ගොඩක් සතුටු වුනා කවුරුත් ගණන් නොගෙන අභාවයට යමින් තිබුන තමාගේ ශාස්ත්‍රය ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක් පැමිණීම ගැන. සමුදිට නම් බීරළු ගෙතීම ගැන අල්ලගන්න බැහැ. නමුත් ඇය මේ ගැන අදහසක් ගත්තේ කුසුමාව සහ වසන්තිව පුරුදු කර ගැනීමේ අදහසකින්. මේ සේරම උගන්වන්න බීරළු ගෙදර හාමිනේ එකඟ වුනා. ගමේ ඉන්න අතරෙත් ඇය FB පිටුව හරහා ඕඩර් කීපයක් අරගත්තා. ඇගේම යාළුවො තමයි පිටුවේ හිටියේ ඔවුන් බහුතරයක් ඇගේ පිටුව අනික් අය අතරෙත් බෙදා හැරියා.

ඊළඟ සතියේ ගිහින් කුසුමා හදපු අලුත්ම මෝස්‌තර ටික ගෙන එනකම් සමුදිට විසුමක් තිබ්බේ නැහැ. පලවෙනි පියවර විදිහට වසන්ති ලොකු හාමිනේලගේ ගෙදර නැවතිලා බීරළු ගෙදර ගිහින් බීරළු ගෙතීම ඉගෙන ගත්තා. වසන්තිට සියුම් වැඩ කරන්න නම් තිබ්බේ උපන් හපන් කමක්.

මේ විදිහට ඕඩර් එද්දී සමුදී තමන්ගේ අතින්ම ඒවා ලස්සනට පැක් කරලා කුරියර් කළා. හැම පාරිභෝගිකයටම කතා කරා ඕඩර් එක කොච්චර පොඩි වුනත්. සර්, මැඩම් කියල බොහොම ගෞරවයෙන් කතා කරලා සේවය ගැන නිසි ලෙස හොයා බැලුවා. සාරි සහ මේස රෙදි තමයි වැඩියෙන්ම අලෙවි වුනේ.

මේ අතරේ සමුදී තීරණය කළා විදේශිකයෝ වෙනුවෙන් අමුරෙදි සහ බීරළු සහිතව නව ආරක රෙදි පිලි නිපදවන්නත්. ඒ ගැනත් ඇය සැලසුම් කරමින් හිටියේ. ව්‍යාපාරයෙන් ලැබුන සතයක්වත් ඇය තමාගේ වියදම් වලට ගත්තේ නැහැ. ගමන් ගාස්තු, අමුද්‍රව්‍ය, කුසුමාගේ වැඩ කුලී සේරම එක්ක ඇයට ලොකු ලාභයක් ලැබුනෙත් නැහැ. මේ මාසේ නම් වියදම් පියවා ගන්න තාරිකගෙන් ණයක් ගන්නත් ඇයට සිදු වුනා.

ආයතනයෙන් ලැබුන වසර දෙකක පඩි සල්ලි FD දාලයි තිබ්බේ. විවාහ උත්සවයක් ගන්නේ නැතුව චාමෙට විවාහ වෙලා ඉතුරු කරපු සල්ලි වලින් ඇය ඉඩමක් අරගෙනනේ තිබ්බේ. දැන් නම් ඒකෙ මිල ගොඩක් වැඩියි. තාරික මේ දිනවල ලෝන් එකක් දාල ගෙයක් හදන්න සැලසුම් කරමින් හිටියේ. ඒ අතරේ ලෙඩ දුකක් හැදුනොත් එහෙම හදිස්සියකට ගන්න අර FD එකේ සල්ලි එහෙම්ම තියන්න ඔවුන් තීරණය කළා. ජීවිතේ හදිස්සි අවස්ථා එනවනේ. ඒ වෙලාවට ඉතින් ඉතුරුම් කොච්චර වටිනවද?

ඇයට ලොකු සහනයක් දැනුණා. ගෙදර වැඩ ටිකත් හොඳින් කෙරෙනවා. ව්‍යාපාරයත් අනාගතයේ හොඳ තැනකට ගන්න සිහින දාහක් ඇගේ හිතේ තිබුනා. පුතාල ලොකුයි දැන්. කරදර අඩුයි. උදවු වැඩියි දැන් ඇයට. විමාශ දැන් උදේට තනියම ලැහැස්ති වෙලා විහස්ට අඳින්නත් උදවු වෙනවා. දෙන්න එකතු වෙලා ගේ අතු ගානවා. තාරික කවදාටවත් වඩා දැන් ඇයට ආදරෙයි. වෙච්ච අභාග්‍ය ඔවුන් දෙන්නගේ බැඳීම තව තව වැඩි කළා.

ඇත්තටම සමුදී කියන්නේ TV එකේ කතා බලල නැති ප්‍රශ්න ඔලුවේ දාගෙන නිදියන මනුස්සයෙක් නෙවෙයි. ඇය තමාගේ යුතුකම් අකුරටම කරපු ගැහැණු අතරේ ඉන්න සැපවත් ගැහැනියක්. ඇයටත් ප්‍රශ්න තිබුනා. වැඩ ඉහටත් උඩින්. නමුත් ඇගේ ජීවිතේ දැන් ආයෙත් පිළිවෙලයි සුන්දරයි. ගොරවමින් හිටපු තාරික හොලවලා ඇහැරවපු ඇය “ අනේ තාත්ති මට නින්ද යන්නේ නැහැ… මාව බදාගන්න කියමින් ඔහු වෙත ගුලි වුනා”

“ එන්න අම්මි “…කියළ ඔහු නිදිමතෙන්ම ඇගේ ඇඟ වටේ ඔහුගේ විශාල අතක් දමා ගත්තා.

(ලබන සතියට)

SHARE

NO COMMENTS