දරුවෙක් හදන්න පෙර ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න 14 ක් – 1 කොටස

විවාහක යුවලකගේ ඊළඟ ලොකුම බලාපොරොත්තුව තමා දරු සුරතල් බැලීම. පුංචි කිරිකැටියෙක් නිවසේ ඉන්නකොට, කිරි සුවඳ පැතිරෙනකොට තමන් තරම් වාසනාවන්ත කෙනෙක් මුළු ලෝකෙම නැහැ කියල හිතෙනවා. දරු සුරතල් බලන්න හැම දෙමව්පියෙක්ම කැමතියි. එත් දරුවකු ලබා ගැනීම කියන්නෙ ඔබ හිතන තරම්ම පහසු දෙයක් නෙවෙයි. එය විශාල වගකීමක්.

මේ වගකීමට සුදානම් නැතිව ඔබ දරුවකු ලබා ගතහොත් ඔබට විශාල ගැටළු වලට මුහුණ දීමට සිදු වේවි. ඒ නිසා මේ ප්‍රශ්න ඔබෙන්ම අසා බලන්න. ඒවාට ඔබ ළඟ පිළිතුරු තියනවා නම් ඔබ දරුවකු ලබා ගන්න සුදුසුයි. ඒවාට ඔබ ළඟ පිළිතුරු නැත්නම් ඔබ තවම දරුවකු ලබා ගැනීමට සුදුසු නැහැ. එහෙනම් ඔබ තවදුරටත් ඔබ දෙදෙනාගේ අවබෝධය සහ දැනුවත් භාවය දියුණු කර ගත යුතුයි.


fb- like-beg


01) ඔබ දෙදෙනාගේ රණ්ඩු අවසන් වන්නේ කෙසේද?

විවාහක යුවළක් අතර රණ්ඩු ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඔබ රණ්ඩු වන වාර ගණනින් ඔබේ පවුල් ජීවිතයේ සාර්ථකත්වය මැනිය නොහැකියි. එහෙත් ඔබේ රණ්ඩු අවසන් වන ආකාරයෙන් ඔබේ සම්බන්ධතාවයේ සාර්ථකත්වය පිළිබඳ හොඳින් අවබෝධ කර ගත හැකියි. ඔබට ඔබේ සම්බන්ධතාවයේ සාර්ථකත්වය පිළිබඳ අවබෝධ කර ගත යුතු නම් ඔබේ රණ්ඩු අවසන් වන ආකාරය පිලිබඳ අධ්‍යයනය කරන්න. ඔබ දෙදෙනාගේ ආරවුල් සමාව දීමෙන්, ගැටළු වලට විසඳුම් සොයා ගැනීමෙන්, දෙදෙනා යම් එකඟතාවයකට පැමිණීමෙන් හෝ ගැටලුව පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් යුතුව අවසන් වන්නේ නම් එයින් අදහස් වන්නේ ඔබ දෙදෙනා ජීවිතයේ නව අත්දැකීම් වලට සුදුසු බවයි. එනම් ඔබ දරු සුරතල් බැලීමට අවශ්‍ය එක සුදුසුකමක් සපුරා ඇත.


02) “අම්මා” “තාත්තා” යන්න ඔබට දැනෙන්නේ කෙසේද?

අප සමාජයේ විවිධාකාරයේ දෙමාපියන් ඇත. ඔබට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ දෙමව්පියන් වීමට දැයි ඔබ තීරණය කළ යුතුය. ඇතැම් අය තම දරුවන්ට වැඩි නිදහසක් ලබා දී ජීවිතය විඳීමට ඉඩ ලබා දෙයි. ඇතැම් ඇය තම දරුවන්ව තරමක් නීතිගරුකව හික්මවීමට උත්සහ කරයි. ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද යන්න මෙන්ම ඔබේ සහකරුවාද ඔබ හා එකඟ වීම ඉතා වැදගත් වේ. එසේ නොවුවහොත් දරුවා පිළිබඳ තීරණ ගැනීමේදී ඔබ දෙදෙනා අතර ගැටළු ඇති විය හැක. එනිසා දරුවකු ලැබීමට පෙර මේ පිළිබඳ ඔබ දෙදෙනා එකඟතාවයකට පැමිණීම ඉතාම වැදගත් වේ.


03) ඔබ දරුවා වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නවාද?

අපේ සංස්කෘතිය, ආගම තීරණය වන්නේ අපේ දෙමාපියන්ට අනුවය. එහෙත් ඔබත් ඔබේ සැමියාත් ආගම් හෝ ජාතීන් දෙකක අය නම් ඔබේ දරුවා පිළිබඳ තීරණ ගැනීමේදී ඔබ දෙදෙනා අතර බොහෝ මතභේද ඇතිවිය හැකියි. එනිසා දරුවකු ගැන සිතීමට පෙර ඔබේ විශ්වාශයන් දරුවා කෙරෙහි බලපාන්නේ කෙසේදැයි යන්න නිශ්චිතව තීරණය කළ යුතුය. ඔබ දෙදෙනා ඒ පිළිබඳ නිශ්චිත තීරණයකට එළඹීම අත්‍යවශ්‍යය වේ.


04) ඔබේ නව අත්දැකීම් කළමනාකරණය කර ගන්නේ කෙසේද?

අලුත් අත්දැකීම් කියන්නේ ජීවිතය හොඳ අතට මෙන්ම නරක අතටත් යොමු කරවන්න පුළුවන් දෙයක්. ඔබේ පවුලට දරුවකු එකතු වෙනවා කියන්නෙත් ඔබ දෙදෙනාට අලුත් අත්දැකීමක්. මේ අලුත් අත්දැකීමට ඔබ දෙදෙනාම සහයෝගීව මුහුණ දිය යුතුයි. දරුවෙක් පවුලට එකතු වූ විට අනිවාර්යයෙන්ම ඔබ දෙදෙනාගේම දින චර්යාව වෙනස් වේ. ඒ වෙනස් වීමට ඔබ දෙදෙනා පෙර සිටම සුදානම් විය යුතුයි. දෙදෙනා එකිනෙකාට උදව් කර ගැනීමට, දරුවා වෙනුවෙන් කාලය සොයා ගැනීමට ඔබේ කටයුතු මනාව කළමනාකරණය කර ගත යුතුය. ඒ සඳහා පෙර සිටම දෙදෙනා සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත යුතුය. දරුවා ලැබුණු පසු මේ ගැන සිතුවහොත් ඔබට ගැටළු වලට විසඳුම් සෙවීමට සිදු වේ. එහෙත් ඊට පෙර මේ ගැන අවධානය යොමු කළහොත් ගැටළු ඇතිවීම වළක්වා ගත හැක.


05) ඔබ දෙදෙනා සතුටින්ද?

තමන්ට කෙතරම් කරදර තිබුනත් ඒවා දරුවන්ට නොපෙන්වා සිනහමුසුව සිටීමේ හැකියාවක් සෑම දෙමාපියෙකුටම තිබිය යුතුය. එනිසා දරුවකු පැතීමට පෙර ඔබ දෙදෙනා තුලත් එම ගුණය තිබේ දැයි තහවුරු කර ගන්න. යම් යම් ගැටළු නිසා ඔබ දෙදෙනා දරුවා ඉදිරියේ රණ්ඩු වීම සුදුසු නැත. එනිසා ඔබ දෙදෙනා සතුලින් සිටීම ඉතා වැදගත් වේ.


06) ඔබට අවශ්‍ය උපකාර ඔබේ වටපිටාවේ තිබේදැයි තහවුරු කර ගන්න.

අලුතින් එකතු වූ සිඟිත්තෙක් රැක බලා ගැනීම ඔබ දෙදෙනාට පමණක් තනිව කළ හැක්කක් නොවේ. ඒ පිලිබඳ පෙර අත්දැකීම් ඇති ඔබේ දෙමාපියන්ගේ හෝ ඔබේ වැඩිමහල් සහෝදර සහෝදරියන්ගේ හෝ ඔබේ යහළුවන්ගේ හෝ උපකාර ඔබට අනිවාර්යයෙන් ම අවශ්‍ය වේ. එනිසා දරුවෙකු එකතු කර ගැනීමට ප්‍රථම ඔබේ එම සම්බන්ධතා තහවුරු කර ගැනීමට වග බලා ගන්න.


07) දරුවා පිළිබඳ තීරණ ගැනීමේදී ඔබ දෙදෙනාම ඉන්නේ එකම මතයේද?

දරුවාගේ අධ්‍යාපනය, විනය ආදී සියල්ල පිලිබඳ තීරණ ගැනීම පැවරෙන්නේ දෙමාපියන්ටයි. එහිදී ඔබ දෙදෙනාම එකම මතයක සිටිය යුතුය. නැතහොත් එය දරුවාටද අහිතකර ලෙස බලපායි. එමෙන්ම ආගමික කටයුතු, සිරිත් විරිත් ආදිය පිළිබඳ දරුවාට ඉගැන්වීමේදී ද ඔබ දෙදෙනා එකම මතයක සිටිය යුතුය. ඔබට දරුවාට පැරණි සිරිත් විරිත් ඒ අයුරින්ම ඉගැන්වීමට අවශ්‍ය වුවත් ඔබේ සැමියා එවැනි දේවලට වටිනාකමක් නොදෙන කෙනෙක් නම් එහිදී ගැටළු මතු වේ. එනිසා දරුවකු එකතු කර ගැනීමට පෙර මේ පිළිබඳ දෙදෙනා එකඟතාවයකට පැමිණිය යුතුය.


මෙම ලිපියේ දෙවන කොටස සදහා :-

දරුවෙක් හදන්න පෙර ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්න 14 ක් – 2 කොටස

SHARE

NO COMMENTS