“ජීවිතේ මේ වගෙයි.” – Part 29

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 29 කොටස

ගිනි ගහන අගෝස්තුවේ රස්නෙට සමුදිගේ මුළු සරීරේම දාඩියෙන් නැහැවුනා. ඇය ත්‍රී විල් එකෙන් බැස්සේ google මැප්ස් වල තිබුන ගෙදරටයි. ඇය කවදාවත් තලවතුගොඩ ටවුන් එකෙන් එහාට ගියේ නැහැ. පන්නිපිටිය පාරේ ටික දුරක් යද්දී තමයි මේ ඔෆිස් එක තිබුනේ. ඇයට FB පිටුව හරහා ලැබුන ඔර්ඩර් වලින් අද දවසට මේ අන්තිම එක. අද දවසට ඉල්ලීම් 10 ක් ලැබුනා.

සමුදී වැඩ කලේ කාර්යාලයක AC එක ඇතුලේ. ඇයට මේ රස්නය දරා ගන්නට අමාරු වුනා. නමුත් හැමවිටම හිතුවේ තව ටිකයිනේ කියල. ඒ හැම වෙලාවේම ඇයට කුසුමාව මතක් වුනා. වසන්ති එක්ක දවසම මහන්සියෙන් වියලා ඔලුව උඩ තියාගෙන, තුට්ටු දෙකට ගෙන් ගෙට ගිහින් විකුණන ඇගේ බැගෑපත් හිනාව මතක් වුනා. සමහර මිනිස්සු මේ අහිංසක වෙලෙන්දිගෙන් බඩු ගත්තේ කේවල් කරලා ඇයට ආදායමක් නොලැබෙන විදිහට. හැබැයි ඉතින් ලොකු කඩේකට ගියා නම් නිකන්ම ලේබල් එක බලලා ඔය වාගෙ තුන් ගුනයක් ගෙවල තමා ගන්නේ. මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි ඉතින්. ඔය වගේ දේවල් වලට දැන් සමුදී සැලෙන්නේ නැහැ.

තැන ගන්න මේ උත්සාහයෙන් අඩුම ගානේ කුසුමලට, වසන්තිලට තුන් වෙලා කාලා ඉන්නවත් ලෑබෙයිනේ කියන සිතුවිල්ල සමුදිව සතුටු කළා. ඒ එක්කම යහපත් අදහස් තිබේ නම් යහපතමයි වෙන්නේ කියන කාරණේ සමුදිගේ අම්මා කුඩා කළ සිටම ඇගේ හිතේ ඇති කරවපු විශ්වාසයක්.

සමුදී මේ කල්පනා අතරේ ඉස්සරහ වාඩි වෙලා ඉද්දි වයස 50 ක විතර ලස්සන නෝනා කෙනෙක් ආවා. ඇය ආවේ හිනා වෙමින්. මිසිස් වර්ණකුලසූරිය ලෙස තමාව හදුන්වලා දුන්න ඇය ඉතාම ලස්සනට ඉංග්‍රීසි බසෙන් කතා කරලා සමුදිව ළඟ තිබ්බ කාමරේකට එක්ක ගියා. ඇය අරගෙන ගියපු සාරි 5 කුත්, මේස රෙදි 3 සහ නැප්කින් සෙට් දෙක සහ ටේබල් මැට් ඔක්කොම අරගෙන මුදල් ගෙවුවේ බොහොම සතුටින්. මේ නෝනට මේ ලස්සන සාරි ටික පෙන්වල තිබෙන්නේ ඇගේ ලේඛම්වරිය. තරුණියෝ ඉතින් fb එකේ ඉන්නවා වැඩිනේ. මේ තරුණියටත් සාරියක් එවන්න කියල මිසිස් වර්ණකුලසූරිය සමුදිගෙන් ඉල්ලුවා. ඇය මේ ආයතනයේ ප්‍රධානියාගේ බිරිඳ ඒ වගේම සමාජශීලී ජීවිතයක් ගත කරන ඇයට විවිධ වර්ගයේ සාරි අවශ්‍යයි. සමුදිගේ සාරි ගැන ගොඩක් පැහැදීමෙන් තමා ඇය කතා කළේ.

“මම ඔය ළමයට සාරි ගන්න කෙලින්ම කතා කරන්නම්” කියල ඇය සමුදිගේ අංකය ඉල්ලා ගත්තා. කියපු වෙලාවටම ගෙනත් දුන්න එක ගැන මේ මහත්මිය ගොඩක් සතුටින් හිටියේ.

කුරියර් සේවයක් බඩු යවන්න තියා ගන්න කියල තාරික කීවත් මේ වගේ වැදගත් ක්ලයන්ට් ලා හම්බ වීම ගොඩක් වටින නිසා තමයි සමුදී තමන්ම ගිනි අවුවේ ගිහින් හරි බෙදා දීම් කරේ. තව ටික දවසකින් සල්ලි ටිකක් හොයාගෙන මෝටර් සයිකලයක් අරගෙන පිරිමි ළමයෙක්ව රස්සාවට ගන්න තමයි ඇය හිතාගෙන හිටියේ.

මහන්සි වෙලා ගෙදර ආව සමුදී ඇඟ හෝදාගෙන නිදා ගන්නවා. තාරික ඇවිත් පරිස්සමෙන් ඇයව ඇහැරවන්නේ නැතුව පොඩි වුන්ගේ වැඩ කරලා ඉවර වෙලා තමයි සමුදිට කතා කරන්නේ. රැක් එකේ තිබ්බ රෙදි සේරම අරගෙන ඔහු නමලා පිළිවෙලට අල්මාරියට දැම්මා. සමුදී නිදිමත නිසා රාත්‍රියට කන්න අකමැතියි. නමුත් තාරික කොහොම හරි නැගිට්ටවලා කන්න බල කරනවා. එදත් පුතාල දෙන්න එක්කම ගුඩ් නයිට් කියන්න කාමරේට් ආව තාරික ඇයව ඇහැරුවා.

දරුවෝ දෙන්නා අම්මව තුරුල් කරගෙන කිහිප වරක්ම සිප ගත්තා..

“ගුඩ් නයිට් අම්මි… අපි යනවා” කියල ඔවුන් දෙන්නා යන්න හදද්දී තාරික කෑ ගැහුවා.

“ කෝ ඉතින් තත්තිට ගුඩ් නයිට්?” තාත්ති යනවා යන්න කොහේ හරි” කියද්දී දෙන්නම පැනලා තාරිකගේ ඇඟේ එල්ලුනා. එක්කෙනෙක් උරහිස උඩට ගොඩ වුනා. විමාශව අත් දෙකට වඩා ගත්ත තාරික ගියේ ඔවුන්ව ඇඳට දාල එන්න.

තාරික ඔවුන් කුසට ආව දවසේ ඉඳලා ගුඩ් නයිට් කියලා සිඹින පුරුද්දක් තිබ්බා. පස්සේ පස්සේ හම්බ වෙන්න කිට්ටු වෙද්දී තාරික බඩ තද කරහම ඔවුනුත් පයින් ගහලා ප්‍රතිචාර දක්වනවා. හරිම පුදුම උනත් මේ අත්දැකීම සමුදිට කවදාවත් අමතක කරන්න බැහැ.

මේ දෙන්නම තාත්තට තාත්තා එක්ක ගොඩක් සමගියි.

පස්සේ ඔවුන් දෙන්න පහලට ගිහින් ආහාර ගත්තා. සාමාන්‍යයෙන් ඔවුන් දෙන්නා රාත්‍රී ආහාරය ගන්නේ එකටමයි. කෑම ඇඟට වැටුන ගමන් නිදියන එක හොඳ නැති නිසා ඔවුන් එක්කෝ චිත්‍රපටියක් බලනවා. නැත්නම් දෙන්න එක්ක මොනවා හරි කතා කර කර ඉන්නවා. දවසේ විස්තර බෙදා හදා ගන්නේ මේ වෙලාවේදී තමයි.

තරිකගේ කාර්යාලයේ සමහර පිරිමි ගෙදර ගිහින් කරේ කෑම කාල එක්කෝ තනියම fb එකට වෙලා හිටපු එකයි. එතකොට දවසෙම දරුවෝ, ගෙදර වැඩ, කාර්යාලය එක්ක ඔට්ටු වෙන භාර්යාව තනි වෙනවා. ඇයට අවශ්‍යයි ඇයගේ ආදරණීය සැමියා එක්ක සුන්දර මොහොතක් ගත කරන්න. මේ ආදරය සහ අවධානය නැති වෙද්දී භාර්යාවෝ නපුරු කෑ ගහන සුලු අය වෙනවා.

සැමියා තව තවත් ඇගෙන් ඉවත් වෙනවා. නමුත් ඇත්තටම බලද්දී භාර්යාවෝ නපුරු චරිත වෙන්නේ සැමියාගේ ආදරය නොදෑනෙද්දි කියන එක තාරික දන්නවා. ඔහු විවාහයට පෙර සිටම මේ දේවල් ගැන පොත පත පවා කියෙවුවා. සමුදිට අවශ්‍ය අවධානය, ආදරය සහ රැකවරණය අඩු නැතුව දෙන නිසා සමුදී කවදාවත් පුපුරු ගහමින් හැමදේටම බනින ගැහැනියක් වුනේ නැහැ.

ව්‍යාපාරය සෙමෙන් සෙමෙන් ගලා යද්දී ඔවුන්ගේ කැදැල්ලත් මේ විදිහටම ආදරෙන් ගෙවුනා. කුසුමා සහ දූ වරු දෙන්නා හොඳ ආදායමක් ලැබුවා. ඔවුන් ගරා වැටුන ගේ පිළිසකර කර ගත්තා. ඒ අතරේ ගමේ රැකියා නැති තව ගැහැණු දෙන්නෙක් එහෙට රෙදි වියන්න ආවේ දැන් එන ඉල්ලුමට රෙදි දෙන්න තනියම වියන්න බැරි නිසා.

සමුදී දොම්පේ ගමේ පාලු අක්කරයක පමණ වත්තක් අඩු මිලට අරගෙන වනය මැදින් එලි කරලා පොල් අතු වලින් හෙවිල්ලපු ඔවුන්ගේ පලවෙනි වැඩ පොළ ආරම්භ කරා. සමාගම ලියාපදිංචි කරද්දී 20% ක කොටස් කුසුමාගේ නමට එන විදිහට තමයි ලියාපදිංචි කළේ. ගමේ ගැහැණු 5 දෙනෙක් දැන් වැඩ කරනවා. ඉස්සර ඔතැනි විදිහට ගේ මුල්ලේ උන්න වසන්ති දැන් කඩියෙක් වගේ අන දෙමින් වැඩ. හැමෝටම අත්කම් හුරු කරේ ඇය විසිනුයි.

මේ සේරම මේ විදිහට වෙද්දී ප්‍රශ්නත් නැති වුනාම නෙවෙයි ඉතින්. සමහර මාස වල කට්ටියට පඩි දෙන්න සමුදිගේ රත්තරන් බඩු පවා උගස් කරන්න වුන වෙලාවලුත් තිබ්බා. තාරික තමන්ගේ වුර්තීය ජීවිතේ හොඳින් කළා. ඔවුන්ගේ ඉඩමේ ඔහුගේ මහන්සියෙන් අලංකාර නිවසක් ඉදි කළා. ඔවුන් තාම මෙහි පදිංචියට ගියේ නැහැ. විහස් සහ විමාශ දැන් තුන වසරේ ඉගෙන ගන්නවා. ඔවුන්ගෙන් විමාශ ඉගෙන ගන්න එතරම් දක්ෂ නැහැ, නමුත් ඔහු හරිම දක්ෂයි චිත්‍ර සහ කළා වැඩ වලට.

සමුදිටත් දැන් වයස 38 ක් නිසා එහෙන් මෙහෙන් සුදු කේස් මතු වෙලා. ජීවිතේ වින්ද කම්කටොලු, අනෙක උත්සාහයන්, තමන්ගේ වටේ ඉන්න හැමෝගෙම සුව සෙත වෙනුවෙන් උරදුන්න මුහුණේ දෙනෙතට යටින් යන්තම් රැලි මතු වෙලා.

ජීවිතේ ඉතින් මේ වගේ තමයි…..

(ලබන සතියට)

SHARE

NO COMMENTS