දුක්බර විවාහය

“අපෝ ඒ දෙන්න ..ඔය ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙන මිනිස්සුනේ…”

තරු මේසේ කියනකොටම කොළ එලිය පත්තු වුන නිසා මම වාහනය ඉස්සරහට ගත්තෙමි.

“ඇයි ඒ දෙන්නගේ මොකක් හරි අවුලක්ද?..මොකද්ද සීන් එක?”


fb- like-beg



මම ඇසුවේ ඔවුන් එක්ක මගේ එතරම් ඇයි හොඳයියක් නැති නිසාය. සාමාන්‍යයෙන් තරුගේ යාලුවෝ කවුරුත් එක්ක එතරම් යාලුකම් පවත්වන එක මට රුචිකර නොවීය. ඒ පොඩ්ඩ බැරි වුනොත් තරු මා සමග රණ්ඩු වෙන බැවිනි.

අපි විවාහ වුන අලුත ඇගේ තනිකඩ යෙහෙලියක් අපේ ගෙදර පැමිණි අතර ඇය කියන කිසියම් දේකට මම එකඟ වූ නිසා මාස කීපයක් යන තුරු මට තරුගෙන් අවලාද ඇසීමට සිදු විය.

“අයියෝ පොත්ත පාට නම් ඔයාට ඉතින් මෙලෝ සිහියක් නැහැ. තමන්ගේ වයිෆ්ට වඩා වෙන කෙනෙක්ගේ පැත්ත ගත්තානේ”

ආදී වශයෙන් ආඩපාලි කී අතර ඊට අමතරව නොයෙක් හින්ට්ද පාස් විය. ඉන් පසු මට වැඩ නිසාත් නිකන් ලෙඩ දා ගැනීමට අකමැති නිසාත් ඇගේ යහළුවන් ඇසුරු නොකිරීමට මම පරිස්සම් වීමි.

“අපෝ ඒ ගොල්ල කොහෙවත් යන්නේ නැහැ. අපි දැන් මාස තුනකට කලින් අපේ ඇනිවර්සරි එකට ඩවුන් සවුත් ගියේ…. ඒ වුනාට එක දවසක් දැකල තියනවද ඒගොල්ල ඇනිවසරි එකක් තියා වැස්සකටවත් කොහේවත් යනවා?” අඩුම ගානේ ෆිල්ම් එකකට..නැත්නම් කොහෙවත් විශේෂයෙන් කන්න..එහෙමවත් යන්නේ නැහැ. කිසිම රහක් නැති මූසල ජීවිත.

මේ කියන දමයන්ති එහෙම පීඩනෙන් ඉන්න කෙනෙක් ලෙස මා හමු වූ දෙපාරේදීම දැක නැත. ඇය සැමියා සමග ඉතාම සතුටින් ඉන්න ගැහැනියක් බව නම් හැම දෙකින්ම පෙනුනි. නමුත් ඉතින් ජීවිත වල ඇතුල අපි දන්නේ නැහැනේ. ඇත්තටම FB එකේ කවදාවත් ඔවුන් දෙන්නා යන තැන වත් , කන තැනක් වත් සටහන් කර ෆොටෝ දමනු මම දැක නැත්තෙමි.තරු කියන කතාව ඇත්තක් විය යුතුය.

“අර මම ඔයාට කියල ගෙන්න ගත්ත සෙන්ට් එක FB දැම්මහම දුක හිතෙන්න ඇති දමයන්තිට. මොකද එයාට නම් කමල් අයියා කවදාවත් කිසිම තෑග්ගක් දෙන්නේ නැහැනේ. “

තරුගේ උපන් දිනයට ඉතාම මිල අධික සුවඳ විලවුන් වර්ගයක් ඉල්ලා මා සමග රණ්ඩු කලාය. නමුත් ගත් විගසම ඇය කලේ එය විවිධ ආකාරයට තබා ෆොටෝ ගසා FB දැමීමයි. #gift #home #mylife #feeling #loved #thankuhubs…වශයෙන් කියා FB දමා අනික් පැත්ත හැරී මේසේ කීවාය.

“මම හිතුවේ ඔයා මට ජුවලරි එකකුත් ගෙන්න ඇති කියල. අර නිලුට නම් තරිඳු අයියා ඩයමන්ඩ් රින්ග් එකක් දුන්නා.” කියා රවා බැලුවාය.

“ සල්ලි නැහැ ළමයෝ. ගෙදර වැඩට වියදම් වුනා. මේකත් ගත්තේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්” කියා මම බැගෑපත් වුනෙමි.

“මාර සවුත්තුව. දැන් නිලුගේ ලොකු කම වැඩි වේවි”

ඇත්තටම මට දමයන්ති ගැන ටිකක් දුක හිතුනි. ඇයට කිසිම දෙයක් ලැබෙන බවක් පෙන්නේ නැත. අඩුම ගානේ ඇය හෝ සැමියා උපන් දිනේට සුබ පැතුමක්වත් එකතු කරන්නේ නැත. මොන තරම් දුක්බර ජීවිතද?

අපි දෙන්නා සිනමා ශාලාව ඉදිරිපිටට යන විට තරමක් වේලාසන වැඩිය. මොර සූරන වැස්ස නිසා මම පරිස්සමෙන් වාහනය නතර කළෙමි. තව වෙලා ඇති නිසා ඇතුලට නොයා සිටීමට අපි තීරණය කළෙමු. තරු ඒ අතර අපි දෙන්නගේ සෙල්ෆි එකක් ගත්තාය. බියුටි ඇප් එක නිසා තරු සුද්දියක් මෙන් පෙනෙන අලංකාර ෆොටෝ එකක් ගත් ඇය. # #fun #movietime #mylove වශයෙන් ලියා පල කලාය. අප දෙදෙනා FB එකේ විනාඩි 15 ක් පමණ බලමින් ඉන්නා අතරතුර වැස්ස තුනී විය. ඉදිරියෙන් අනික් පැත්තේ නවතා තිබුන වාහනය තුල ඉන්න යුවල මුහුණු හරියට නොපෙනේ. ඔවුන් පැමිණ තිබුනේ අලුත්ම අවුඩි වර්ගයේ ජීප් රථයකිනි.

බිරිඳ සැමියා පැත්තට බර වී සිනාසෙමින් යමක් බිම බලාගෙන කියවමින් සිටියාය. පිරිමියා ගැහැනියගේ නළල සිඹිමින් සිටි අතර ගැහැණිය ප්‍රතිචාරයක් ලෙස ඔහුගේ කම්මුල් සිප ගත්තීය. මම තරුට පෙන්නුවෙමි.

“ෂුවර් එකට කොටුවක් වෙන්න ඇති. නැත්තන් මේ වගේ වයසක ජෝඩුවක් මොකටද මහ පාරේ මූණ ඉඹීන්නේ?” තරුගේ කතාව ඇත්ත බව මට සිතුනි.

තුරල් වුන වැස්සේ ඔවුන් දෙන්නා වාහනයෙන් බැස සිනමා ශාලාව වෙත යන බව පෙනුනි. පිරිමියා කුඩය අල්ලා ගෙන සිටි අතර ගැහැණිය පිරිමියාගේ අතේ එල්ලී සිටියාය.

“ දෙයියනේ අර දමයන්තිලා නේද?” තරු කීවේ විස්මයෙනි. අලුතින් අවුඩියක් අරගෙන නේද? අපිත් යමු කියා අපිද බැස සිනමා ශාලව වෙත ගියෙමු.

ඔවුන් දෙදෙනා උණුසුම්ව එකිනෙකා වැලඳ ගත්තේ ජීවිත කාලය පුරාම පාලුවෙන් සිටි යෙහෙලියන් දෙන්නෙක් මෙනි.

“ඔය දෙන්නා හොරු දෙන්නා වගේ මොකද මෙතන කරන්නේ? අපි දන්නේ නැහැනේ ඔයාල ෆිල්ම් බලනවා කියල” තරු කියාගෙන ගියාය.

“අනේ අපි දෙන්නා හැම සති අන්තෙකම කොහොම හරි මුවි බලනවා. කොහොමත් සෙනසුරාද ඉරිදා අපි ගෙදර නෙවෙයිනේ ඉන්නේ. ඔයාලව නම් දැකලම නැහැ මෙහේ. “යයි දමයන්ති කීවාය.

“අවුඩියක් ගත්ත බව දන්නෙත් නැහැ. “තරු කීවේ මද ඉරිසියාව මුසු වූ අමනාපයෙනි.

“කොහෙද මෙයා මේක එලියට ගන්නෙවත් නැහැ. මම මේ මෙයාගේ ගියපාර බර්ත්ඩේ එකට ගෙනත් දුන්නේ. දැන් වීකෙන්ඩ් එකේ මම වත් එලවනවා. “ උත්තර දුන්නේ කමල්ය.

“අයියෝ වැස්ස නිසා කොටු වෙලා හිටියේ. මම නම් fb ගියා” මම කීවෙමි.

“ අපි දෙන්නා වාහනේ යද්දී පොත් දාගෙන යන්නේ. මෙයා එලවද්දී මම පොත හයියෙන් කියවනවා. දැනුත් මේ වැස්ස අඩු වෙනකන් අපි කියෙවුවා. “ දමයන්ති කීවාය.

ඔය දෙන්නා මූණ ඉඹ ගන්නවා දැක්කා කියන්නට මට සිත් විය.

FB එකේ සතුටින් ඉන්න බව පෙන්නුවට මමත් තරුත් ඇත්තටම ඉන්නේ සතුටින්ද මම මගෙන්ම ඇසුවෙමි. දමයන්තිලා fb එකේ කිසම දිනයක කිසිවක් නොදමති. ඇති දෙයක් නොපෙන්වති. ඕනේ නම් නොපෙන්න්නා ජීවත් පුළුවන් බව මම එදා වෙන තුරු දැන නොසිටියෙමි.

SHARE

NO COMMENTS