“ජීවිතේ මේ වගෙයි.” – Part 30

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 38 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 30 කොටස

සමුදී සාමාන්‍යයෙන් උදේම වැඩ පටන් ගන්නවා. දැන් ඇයගේ කාර්යාලය තිබ්බේ බොරැල්ලේ සාප්පුව එක්කමයි. ඉස්සරහ පැත්තේ VVLooms කඩේ තිබ්බා. එතනට දැන් ෆේස් බුක් එකෙන් බලලා එන පාරිභෝගිකයෝ ගොඩක් හිටියා. පිටුපස පැත්තේ තමන්ගේ කාර්යාලය දාගෙන සමුදී සහ ගිණුම් කටයුතු කරන රුවන්ති හිටියා ඔවුන් දෙන්නම ගොඩක් මහන්සියෙන් තමයි මේ සේරම වැඩ ගොඩ ඇදගෙන ගියේ. රෙදි වියන සහ මහන ෆැක්ටරිය තිබුනේ දොම්පේ. සති අන්තයේ සමුදී එහෙට ගියා. ඇගේ ජීවිතේ දැන් ගොඩක් කාර්ය බහුලයි.

දැන් ඇයට මිල මුදල් වලින් හිඟයක් ලොකුවට නැති නිසා ගෙදර වැඩට කෙනෙක් ගන්නත් හැකි වුනා. ඒ අතරේ ගේ හදන්නත් තරිකට මුදල් දෙන්න ඇය සමත් වුනා. ගිය සතියේ අලුත්ම කාර් එකක් ගෙනාවේ ඇගේ වැඩ වලට දැන් කැබ් වලින් යාම අමාරු නිසා. අද ඇය වැඩ කරමින් ඉන්න අතරේ දුරකතනයට ඇමතුමක් ආවා.

“ කෝ මේ විවී ලූම්ස් වලින් නේද? ඔයාලගේ ඇඳුමක් අරගෙන මෙන්න පාට ගිහින්. මේ වගේ ජරා දේවල් විකුනන්නේ ඇයි? අනික් පැත්තෙන් ඇහුනේ තරහෙන් කෑ ගහන පරිභෝගිකයෙක්ගේ හඬක්.

කලබල නොවීම සමුදී කතා පරිස්සමෙන් කතා කළා.

“මැඩම් ඒ සාරිය රෙසිට් එකත් එක්ක තියා ගන්න. අපි තව පැයක් ඇතුලත එන්නම්.“ කියල ඒ පාරිභෝගිකයාගේ ලිපිනයත් ගත්තා.

මේක නම් කවදාවත් වෙන්න බැරි වැඩක්. සමුදී හැමදාම තමන්ගේ රෙදි වල ප්‍රමිතිය ගැන ඉහටත් උඩින් බැලුව කෙනෙක්. හොඳම අමුද්‍රව්‍ය දාල හදපු ඒ නිෂ්පාදන වසර කීපයක් ඇතුලත මෙච්චර ගමනක් ආවේ මේ පාරිභෝගිකයාට ගෙවන මුදලට සාධාරණයක් කරන ආකල්පය නිසයි.

ඇය තනිවම ඒ පාරිභෝගිකයාගේ ගෙදරම හොයාගෙන ගියේ තව සාරි දෙකකුත් එක්කයි. සමුදී තමන්ගේ වගකීම අරගෙන ගෙදරටම ආවහම පාරිභෝගිකාව ගොඩක් සතුටු වුනා. අයගේ තරහත් හිරු දුටු පිනි බින්දු වගේ නිවුනා. රෙසිට් එක ඉල්ලගෙන අනේක වාරයක් සමාව ඉල්ලලා ඇය ඒ වෙනුවට වෙනත් ලස්සන සාරි දෙකක්ම දීලයි ආවේ.

ගෙදර එන අතර සමුදී දිගු කල්පනාවකට වැටුනා. මේ ටිකේ ටිකක් අලෙවිය අඩු වුනේ මේ නිසා වෙන්නත් ඇති. ඒ එක්කම මගේ හයි කොලිටි රෙදි එක්ක කොහොමද මේ වගේ බාල සාරියක් ගියේ ඇය කල්පනා කරන්න පටන් ගත්තා. මේ නම් සොයා බැලිය යුතු දෙයක් මයි. මොකක් නමුත් නරකක ඉව වැටුන නිසා ඇය මේ දේ පරිස්සමෙන් සීරුවට කරන්න තීරණය කළා.

ඇය ඉස්සෙල්ලම තමන්ගේ පීඩනය නැති කර ගන්න තරිකට කතා කළා. ඒ ඇයගේ හැටි. ලෝකය ඉදිරියේ සිංහ රාජයා වගේ හිටියට මොකද ඇයටත් ලොකු ලොකු ප්‍රශ්න තිබුනා. හිතේ භයවල් තිබුනා. මේ සේරම ඇය පෙන්නුවේ තාරිකට විතරයි. අනික් හැමෝම ඉදිරියේ ඇය හොඳින් හැසිරෙන්න වග බලා ගත්තා. තමාගේ දුර්වලකම් කාටවත් නොපෙන්නීම ගැහැණියකට හොඳයි. සැමියෙක් වුනාම බිරිඳට හැමවෙලේම ශක්තියක් විය යුත්තේ මෙන්න මේකයි. ඇයගේ ප්‍රශ්න සැමියා බෙදා ගන්නේ නැති වෙද්දී, ඇය ඒ ප්‍රශ්න පිට මිනිස්සු එක්ක බෙදා ගන්න යනවා. එවිට පිට මිනිස්සු තමන්ට අවශය ප්‍රයෝජන ගන්න තමයි බලන්නේ.

එදා වැඩ අධික වුනත් තාරික දුරකතනයට උත්තර දුන්නේ ඇය කවදාවත් නිකරුනේ ඔහුට කතා නොකරන බව දන්නා නිසයි.

“අනේ තාත්ති. හරි ප්‍රශ්නයක් වුනේ. මට තේරෙනවා මොකද්ද අවුලක්” ඇය පුංචි දැරියක් වගේ කලබලෙන් කියාගෙන ගියා.

මේ ව්‍යාපාරය කියන්නේ ඇගේ දහඩිය සහ කඳුළු. තාරික ඒ බව දන්නවා.

“ අම්මි ඉතින් කියන්නකෝ. අපි බලමුකෝ මම ඕනේ දේකට ඉන්නවනේ” ඔහුත් ඇය සනසන්න ඉතාම කාරුණිකව කතා කළා.

අද හවස සමුදී කාර් එක ඔෆිස් එකේ දාල තාරික හම්බ වෙන්න ඔෆිස් එකට ගියා. දෙන්නා එක්කම රාත්‍රී ආහාරයක් ගන්න මුහුද අද්දර අවන්හලකට ගියා. වයින් බෝතලයක් හිස් කරන අතරේ මේ ප්‍රශ්නය විසඳන හැටි ඔවුන් දෙන්නා තීරණයට එළඹුනා. රාත්‍රී ආහාරය අරගෙන ඔවුන් ගෙදර එද්දී රෑ වෙලා. පාසලේ වැඩ කරලා දරුවෝ දෙන්න රාත්‍රී ආහාරය අරගෙන නිදි. දැන් මේ දරුවෝ දෙන්නා පොඩි කාලේ වගේ නිදියන්න කරදර කරේ නැහැ. හොඳටම ස්වාධීනයි. ගෙදර ඉන්න සුමනාවතී එක්ක සමගියෙන් හිටපු ඔවුන් දෙන්නා පාඩම් වැඩත් තනියම කළා.

සමුදී සහ තාරික එලියට යාම ගැන ගොඩක් සතුටු වුනා. තාරික ඇත්තටම දැන් ගොඩක් මහතයි. සමුදිත් ටිකක් මහතයි. ව්‍යාපාරයේ වැඩ රෑ දවල් නැතුව කරන නිසා තරමක් කුසගිනි දැනුණා. ඒ වගේම ඇයට ව්‍යායාම කරන්න ඉස්සර වගේ ඉඩක් තිබ්බෙත් නැහැ. ගෙවල් හදන්න. ව්‍යාපාරය වෙනුවෙන් එහෙ මෙහෙ දුවන්න වෙහෙසුන ඇයට තාරික එක්ක නිදහසේ ඉන්න තිබුන වෙලාවත් අඩුයි. දෙන්නම ජීවිතේ එක්ක වේගෙන් දිවුවා.

සමුදී සහ තාරික එලියට යාම ගැන ගොඩක් සතුටු වුනා. තාරික ඇත්තටම දැන් ගොඩක් මහතයි. සමුදිත් ටිකක් මහතයි. ව්‍යාපාරයේ වැඩ රෑ දවල් නැතුව කරන නිසා තරමක් කුසගිනි දැනුණා. ඒ වගේම ඇයට ව්‍යායාම කරන්න ඉස්සර වගේ ඉඩක් තිබ්බෙත් නැහැ. ගෙවල් හදන්න. ව්‍යාපාරය වෙනුවෙන් එහෙ මෙහෙ දුවන්න වෙහෙසුන ඇයට තාරික එක්ක නිදහසේ ඉන්න තිබුන වෙලාවත් අඩුයි. දෙන්නම ජීවිතේ එක්ක වේගෙන් දිවුවා.

ඔවුන් එදා රාත්‍රියේ ඇවිත් ඇඟ හෝදගෙන එකවරම නින්දට වැටුනා. පහුවෙනිදට මුහුණ දෙන්න සැලසුමක් තිබෙනවා. ඒ අනුව සුමනාවතීගේ දුවෙක් ලවා කඩේ FB පිටුවට පණිවිඩයක් යැවුවා ඕඩර් එකක් වගේ සාරි දෙකකට. ඉන් පස්සේ ඒ සාරි ලැබුන ගමන් සමුදිට කතා කරන්න කියල ඒ කාන්තාවට උපදෙස් දීලයි තිබ්බේ.

ඕඩර් එක පහු වෙනිදාම ලැබිලා තිබ්බා සුමනවතීගේ දුව සාරි දෙකත් අරගෙන තකහනියක්ම සමුදිගේ ගෙදරට ආවා. සමුදී මේ සාරි දෙක දකිද්දීම තේරුම් ගත්තා මේවා තමන්ගේ ආයතනයේ වියපු සාරි නෙවෙයි. ඒ වෙනුවට බාල සාරි දෙකක් මාරුවෙලා. සමුදීලා දැනට පාවිච්චි කරන කුරියර් කරන ආයතනය අවුරුදු ගානක ඇය සමග වැඩ කරපු විශ්වාසවන්ත ආයතනයක්. මෙහෙම වෙන්නේ කොහොමද?

ඇය මේ ප්‍රශ්නය කතා කරන්න දොම්පේ ගියා. දැන් වැඩපොළේ අයිතිකාරියක් වුන කුසුමත් ඉස්සර වගේ බයාදු ගැහැණියක් නොවේ. ඉස්සර ගෙන් ගෙට රෙදි ඔලුවේ තියාගෙන ගිය වෙළෙන්දි දැන් ව්‍යාපාරිකාවක්. ඔවුනුත් ගමේ ජීවත් වුනේ බොහොම ජය පහට. වසන්ති විවාහ වෙලා වුනත් ඇය තමයි රෙදි විවීම් බැලුවේ. කුසුමා මහන එක සහ අනික් සේරම බැලුවා. බාල දුව විභාග ඉවර කරලා ඇය තමයි මේ FB පිටු සහ ඕඩර්ස් බෙදා හැරීම කළේ.

සමුදී මේ ප්‍රශ්නය ගැන කතා කළේ කුසුමා එක්ක විතරයි. දුවලටවත් මේ ගැටලුව නොකියන්න දෙන්නා කතිකා කර ගත්තා.

මේ කඩාකප්පල් කාරියා අල්ල ගන්න තුරු කුසුමට නිවනක් නැහැ. කොතරම් අහිංසක වුනත් තමන්ට අසාධාරණයක් වෙන තැන ඇය සටන් කරා. ඇතුල පළවෙනියට හොඳින් බැලිය යුතු බවට දෙන්නම කතිකා කර ගත්තා. ඉන් පස්සේ කුරියර් සමාගම මාරු කරමු කියා තීරනේකට එළඹුනා.

හවසත් මේ ප්‍රශ්නය සමුදිගේ ඔලුවේ වැඩ කරනවා. ඇය හිටියේ ගොඩක් බයෙන්. ඇතුලේ කෙනෙක් මේ ද්‍රෝහීකම නොකරත්වා කියල ඇය පැතුවා. ඒ වගේම මෙහෙම වැඩක් කරන එකේ බලාපොරොත්තුව මොකද්ද කියා වටහා ගන්න ඇයට ඕනේ කළා.

ගැහැණියකට මානසික ප්‍රශ්න තිබෙද්දී ඒ ප්‍රශ්නය ඔලුවේ වැඩ කරනවා. නමුත් පිරිමියෙක්ට වැඩපලේ ප්‍රශ්න තියල ඇවිත් නැවත හෙට ඒ ගැන හිතන්න පුළුවන්. මේ ගැහැණු පිරිමි මොලයේ ඇති ප්‍රධාන වෙනසක්. මේ අයුරින් ව්‍යාපාරය බදාගෙන සමුදී දඟලද්දී තාරිකට ඕනේ වෙලා තිබුනේ තමන් හදපු නිවසේ සතුටින් ජීවත් වෙන්නයි. ඒ වගේම දූ පැටියෙක් කැදැල්ලට ගේන්න තාරිකට ලොකු හීනයක් තිබ්බා. ඒ ගැන අදවත් කතා කරන්න තාරික තීරණය කරගෙන හිටියේ. ඒ නිසා කලින්ම ගෙදර ආව ඔහු සමුදී එක්ක කතා කරන්න පටන් ගත්තා.

“දැන්ම බැහැ තාත්ති ” කියන එකයි සමුදිගේ ප්‍රතිචාරය වුනේ….
ඇත්තටම ඇය හිටියේ ප්‍රශ්නයක ගිලිලානේ. හැබැයි තමන්ට මෙච්චර වැදගත් දෙයක් වෙලත් බිරිඳ ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම ගැන තාරිකට හොඳටම තරහා ගියා.

“ඇයි බැරි..?” කියල ඔහුත් තරහෙන් ඇහුවා.

“ බෑ කියන්නේ බැරි නිසා. මම මේ ඔලුව ගිනි අරගෙන දඟලනවා. මෙයාට මේ දුවල….” ඉක්බිති තමන්ගේ කටේ සැර නිසා මදක් ලජ්ජා වුන ඇය නැවත තාරිකව ශේප් කර ගන්න මෙහෙම කිවුවේ හඬ බාල කරලා.

“තව කල් තියේනේ තාත්ති. අපි තව ටිකක් ඉමු” නොහිතුව විදිහට මේ උත්තරේ නිසා තාරික තවත් කෝපයෙන් ඇලලුනා.

“තව මොන කාලයක්ද ගොන් ගෑනියේ? තමුසේට දැන් 38 ක්. අර දරුවෝ දෙන්නට අවුරුදු 10 ක්. තමුසේ හදන්නේ ඊළඟ දරුවා මන්ද මුද්ධික කරන්නද? ඔහු කෝපයෙන් කෑ ගැහුවා.

සමුදී වහාම කාමරේ දොර වැහුවේ දරුවන්ට හරි සුමනාවතීට හරි ඇහේවි කියල බයෙන්.

“තාත්ති මම මේ අපි දෙන්නා වෙනුවෙන්මනෙ මේ සේරම කරන්නේ” ඇය ඔහු අස්වසන්න කීවත් ඇගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටුනා. තමන් ඔහු වෙනුවෙන් කරන අපමණ කැපවීම් නොතකා ඔහු මෙහෙම කතා කරන එක කොතරම් අසාධාරණද?

යහනේ අනික් පැත්තට හැරුන ඇය බොහෝ වෙලා සෙමින් හැඬුවා. තාරික තරහෙන් පුපුර පුපුරා නිදා ගත්තා. මුළු ජීවිතේටම මේ තමයි ඔවුන් දෙන්නා සමගි නොවී නින්දට ගියපු පලවෙනි දවස. පහු වෙනිදා සමුදී ඇහැරෙන කොටම තාරික වැඩට ගිහින්. ඇයට ගොඩක් දුක හිතුනා. තාරික තමාට කතා කරා නම් කොච්චර හොඳද කියල හිතුනා. තාරිකගේ හීනේ ගැන සාධාරණව හිතන්න අද නම් සමුදිට නොහැකි වුනා. ඇයට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. තව දරුවෙක් එක්ක එන කායික පීඩාව වගේම දරුවා එක්ක කොටු වෙන එක මේ සේරම ඇයට දරා ගන්න නොහැකි වුනා.

අනික මම දැන් වයසයි. පුතාල හම්බ වෙච්ච කාලේ වගේ ඇඟ හයියක් නැහැ. තාරිකට තියෙන්නේ පුදුම දරු තණ්හාවක් කියල ඇය ඒක පාර්ශවිකව ඔහුව වැරදි කරුවා කළා.

ඒ අතර තාරිකත් අනික් පැත්තට “ මේ ගෑනිගේ තියන තන්හාව නිසා තමයි සේරම. මම මෙච්චර කරද්දී උදේ හවස දඟලන්නේ බිස්නස් එක මත්තේ කියල කෝප වුනා. දියණියකගේ හීනේ ඔහුගේ හිතේ ගොඩක් කල් තිබුන සුන්දර හීනයක්. වෙන එකක් තබා අලුත් ගෙදර හදද්දී ඔවුන්ගේ master bedroom එක ලඟින්ම රෝස පාට ඉතාම අලංකාර කාමරයකුත් හැදෙවුවා. තමන්ගේ දියණිය වෙනුවෙන්. නමුත් කෝ ඔහුට දුවක්? දුවෙක් දෙන්න සමුදී කැමති නැහැ.

SHARE

NO COMMENTS