“ජීවිතේ මේ වගෙයි.” – Part 31

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 38 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 31 කොටස

දෙන්න දෙමහල්ලෝ විරසකය නිසා සමුදිගේ හිතත් ගොඩක් සවුත්තු වුනා. ඇය එදා වැඩට ගියෙත් නැහැ. ඇගේ හිත ගැහෙමින් තිබ්බේ කවුද ඇයගේ සාරි මාරු කරන්නේ කියන ප්‍රශ්නය නිසා. ඒ අතරේ තාරික එක්ක රණ්ඩු වීමට වඩා ඇයට අමුත්තක් ලෙස දැනුනේ කවදාවත් නැති ලෙස ඔවුන් සමගි නොවී නින්දට යාමයි. ඔවුන් පෙරත් ඇති තරම් රණ්ඩු කරලා තියනවා. නමුත් මේ තමා තාරික සමගි වෙන්න නොහිතපු පලවෙනි වතාව.

11ට විතර කෝපි එකක් බොමින් ජනේලෙන් එලිය බලාගන ඇය කල්පනා කරමින් හිටියේ. එදා දවසම වහිනවා. ගං වතුරක් ආවොත් කියල සමුදී බයවුනා. ගං වතුර ගැලුවහම ඇගේ ව්‍යාපාරයටත් එක නිතරම බලපානවා. ඒ කාලෙට අලෙවිය අඩු වෙනවා. සේරම දේවල් ගැන වද වෙද්දී තාරිකගෙන් ඇමතුමක්. ඔහු දැන් මට ආදරෙන් කතා කරාවි. ඇගේ හිත ප්‍රීතියෙන් පිනා ගියා.

හෙලෝ කියල කියන්නත් පෙරම ඇහුන පුවතින් සමුදී ගල් ගැහිලා ගියා. ලොකු හාමිනේ නැති වෙලා. ඔවු සමුදිගේ නැන්දම්ම්මා නැති වෙලා. ඇය කොළඹ ගෙදර කොටු වෙලා ඉන්න කැමති වුනේ නැහැ. ඇගේ ඥාතියෝ එක්ක ගමේ කයි කතන්දර කියමින් ගස් කොළ එක්ක ජීවත් වීමට ආශා කළා. ඒ අතරේ ඇගේ රෝග වලට ගන්න බෙහෙත් වුනත් ගත්තේ පිළිවෙලකට නෙවෙයි. ප්‍රෙෂර් වලට බොන බෙහෙත් මතක් වුනාම බොනවා නැත්නම් නිකන් ඉන්නවා. අගුණ ආහාර කනවා. දැන් තනිවම ගෙදර ඉද්දි රාත්‍රියේ ප්‍රෙෂර් හැදිලා බිම වැටිලා. එහෙම්ම නහරයක් පුපුරලා ගිහින් නැති වෙලා.

සමුදිට ඇය දුටු දිනේ සිට මතක් වුනා. තමන්ට නපුරුකම් කරන අතරේ තමන් ගැන ලොකුකම් කියවමින් ඇවිද්ද ලොකු හාමිනේ, ගස් යට ඇවිදලා ගමේ ගොඩේ එළවලු පලතුරු තමන්ට කන්න කූඩෙක පටවාගෙන කෝච්චියෙන් කොළඹ ගෙනාව ලොකු හාමිනේ, දරුවෝ ඉපදුනාම රෙදි පටි ඉරලා බඩ බැඳපු ලොකු හාමිනේ, එපා කියද්දී තැම්බුන් හොදි පෙවුව ලොකු හාමිනේ, වියන සාරි දැකලා අපේ එක්කෙනා ඉතින් කියමින් හැමෝටම සාරි පෙන්නුව ලොකු හාමිනේ කාත් කවුරුත් නැතුව ගේ ඇතුලේ වැටිලා තනියම මැරිලා. තමන් ඇයට කතා කරෙත් නැහැ කාලෙකින් නේද කියල සමුදිට මතක් වුනා. ඒ එක්කම ෆෝන් එක විසික් කරපු ඇය මර ලතෝනි තියමින් පහත මාලයට දිවුවා. සර්පයෙක්වත් කාල කියල බය වුන සුමනා සමුදිව අල්ලගන්න පිටිපස්සෙන් දිවුවා. බැරිම තැන ඇය මහත්තයට කතා කරේ සමුදිගේ කටින් වචනයක් ගන්න බැරිව.

දුකෙන් පිස්සු වැටිලා හිටියත් තාරික ඒ වෙද්දී ඔහුගේ කාර්යාල රියදුරා එක්ක ගෙදරට ලඟා වෙමින් හිටියේ. ඔහුත් දැන් සමාගමේ අධ්‍යක්ෂකවරයෙක්.

සෝෆාව උඩ පෙරළෙමින් මර ලතෝනි ගසමින් හිටපු සමුදිව උස්සාගෙන ඔහු උඩු මහලට ගියා. ටිකක් වෙලා බෙඩ් ශීට් එකකින් ගුලි කරගෙන ඉද්දි ඇය පියවි සිහියට පත් වෙලා ඇඩුම සිහින් ඉකියකට පරිවර්තනය වුනා. දෙන්නා එකිනෙකා බදාගෙන කඳුළු හලමින් කුඩා දරුවෝ දෙන්නෙක් වගේ වැලපුනා, ඉන් ඉක්බිති අතට අහුවෙන ඇඳුම් ටිකක් බෑග් එකක දාගෙන දරුවෝ දෙන්නව පාසලෙන් ගන්න ඔවුන් ගෙදරින් පිට වුනා. වාහනය පැදවුවේ තාරිකගේ රියදුරා.

ලොකු හාමිනේගේ මරණයේදී තාරික ගොඩක් වැඩ වලට හවුල් වෙන්න වුන නිසා දුක තුනී වෙලා හිටියේ. ලොකු හාමිනේ හිටියේ ඇගේම ගමේ නිසා ඥාතීන් හැමදේම පිළිවෙලට කරා. ඇයගේ ගෝලයෝ, ඇයගෙන් නානාවිධ උපකාර ගත්ත හැමෝම මරණයේ වැඩ යුහුසුළුව කරා. ඇය කොළඹ ඉන්න අකමැති නිසා ඇයට නිසි ලෙස සලකන්න බැරි වීම ගැන සමුදී හිටියේ පුදුම දුකකින්. නමුත් තමන් කවදාවත් ඇයට නපුරු කමක් නොකළ නිසා ඇගේ හිත තරමක් නිදහස් වුනා. වෙන ලේලි කෙනෙක් නම් ලොකු හාමිනේගේ ගති ගුණ නිසා ගොඩක් ප්‍රශ්න ඇති කර ගන්න තිබ්බා.

අපි ලෝකේ වටේ වේගෙන් දුවද්දී බොහෝ දේවල් මගහැරෙනවා. මේ සේරටම මුල අපේම ජීවන රටාව නෙවෙයිද කියල සමුදී කල්පනා කළා. ඒත් මම මේ වෙහෙසෙන නිසා………… කෙළවරක් නැතිව වෙහෙසෙන නිසා කී දෙනෙක්ගේ ජීවිත එලිය වෙලාද? මට කවදාවත් සැනසිල්ලේ ඉන්න බැරි වුනා. තාරිකගේ කාර්යාලයේ අනික් අධ්‍යක්ෂකවරුන්ගේ භාර්යාවෝ කරේ සැලුන් එකෙන් පාසලට එතනින් ඇඳුම් කඩේට මාරු වෙමින් ඉතාම සැපෙන් ජීවිතේ ගෙවුව එකයි. නමුත් සමුදී ගෙවපු ජීවිතේ කවමදාවත් විවේකය කියන වචනේ අහලවත් තිබුනේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක්ට රැකියා ලැබුනා. ඒ ගැන නිහතමානී සතුටක් ඇය ලැබුවේ. තමන් කළ හොඳ ගැන මතක් කරමින් ලොකු හාමිනේ තනිවම මිය ගිය එකේ දුක ඇය තුනී කරගත්තා. ඇය අලුතින් පටන් ගන්න යන කැෂුවල් ඇඳුම් වලට ලොකු හාමිනේගේ නම එකතු කරලා Rukma’s කියල සන්නමයක් හදන්න ඇය තීරණය කළා. එයින් එන ලාභයෙන් කොටසක් ලොකු හාමිනේ වෙනුවෙන් රෝගී මහලු ගැහැණුන්ට ආධාර පිණිස වෙන් කරන්නත් සමුදී තීරණය කළා.

තාරික හිටියේ තරමක් කම්පනෙන්. මේ ඔහුව තනිවම හදා වඩා ගත් අම්මා. තාරිකට වැඩියෙන් අවධානය සහ ආදරය ලැබිය යුතු කාලයක් බව සමුදී හොඳින්ම තේරුම් ගත්තා.

ලොකු හාමිනේගේ හත් දවසේ දානේ ඉවර වෙලා කොළඹ යද්දී වැඩ ගොඩක් මගහැරිලා. ඒ සේරම වෙනුවෙන් දැන් දුවන්න ඕනේ. දරුවන්ගේ පාසල් වැඩත් බලලා මගහැරුණ පාඩම් ටික කරවන්නත් ඕනේ. විමාශ පාඩම් වැඩ වලට දුර්වල නිසා ඔහුගේ පොත් බැලීමට වෙලාවක් වෙන් කරගන්න ඕනේ. මේ සේරටම උදවුවක් ලෙස සමුදිට කල්පනා වුනා තාරිකගේ දුරින් නැන්දා වෙන කෙනෙක්ගේ දුවෙක්. ඇය හරිම හුරුබුටි විනීත තරුණියක්. ඒ වගේම මේ දරුවෝ දෙන්න එක්ක ගොඩක් හිතවත්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන තිබුනත් රැකියාවක් නැතුව ගමේ එපා වෙලා සිටි ඇය තමන්ගේ සහයිකාව ලෙස සේවයට ගන්න සමුදී තීරණය කළා. මේ දරුවට වැටුපකුත් ලැබෙනවා. ඉන්න සමුදිලාගේ ගෙදර ලැබෙනවා. ඒ එක්කම සමුදිගේ හැම වැඩක්ම බලන්න දැන් කෙනෙක්ගේ උපකාරය ඇවැසි වෙලාවක්.

මේ ගැහැණු ලමයාගේ නම යෝශිතා. උසස් පෙළ සමත් ඇය දැන් 19 හැවිරිදියි. ඇය මුලින්ම මල්ලිලා දෙන්නගේ පොත් පාඩම් කරවන වැඩ භාර ගත්තා. දෙවනුව සමුදිගේ ව්‍යාපාරයේ වැඩටත් උදවු වුනා. සමුදිට එන්න එන්නම තාරික සමග යන උත්සවත් දැන් වැඩියි නෙ. ඒ නිසා යෝශිතාගේ පැමිණීම ගෙදර හැමෝටම ලොකු හයියක් වුනා.

ඊළඟ සඳුදා කුසුමා උදේම ඇවිත්. තමන්ට නොදන්වා ගෙදර එන්න ලොකු හේතුවක් ඇති බව සමුදිට වැටහුනා. කුසුමාගේ මූණත් එතරම් හොඳ නැහැ. තේ බොන තුරු වචනයක්වත් ප්‍රශ්නය ගැන කතා නොකළ ඔවුන් දෙදෙනා කාර්යාල කාමරයට ගියා. භයානක ආරංචිය මොකක් වුනත් භාර ගන්න සූදානමෙන් සමුදී පුටුවේ හරි බරි ගැහුණා.

( ලබන සතියට)

SHARE

NO COMMENTS